තිරිහන් කරන ඔසුව

අප කවුරුත් කැමති ලෙඩ රෝගවලින් තොරව වැඩි කාලයක් ජීවත් වීමටය. මෑතක් වනතුරු ම විද්‍යාඥයන් විශ්වාස කළේ, ආයුෂ වැඩි කර ගැනීමට ඇති හොඳම ක්‍රමය සිරුරට ලැබෙන කැලරි ප්‍රමාණය සීමා කිරීම බවය. එනම්, පෝෂණය අඩු නොකර ලබාගන්නා ආහාර ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීමය.
කෙසේ නමුත් දැන් එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝවෝ පේද්‍රෝ මැගල්හේස් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ, අධික රුධිර පීඩනය පාලනය කිරීමට හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් බහුලව නිර්දේශ කරන රිල්මෙනිඩීන් (Rilmenidine) නම් ඖෂධය මගින්, ආහාර පාලනයකින් තොරවම සිරුරට එම වාසිය ලබාගත හැකි බවය.
පර්යේෂකයන් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ, සී. එලෙගැන්ස් (C. elegans) නමැති කුඩා පණු විශේෂය යොදා ගනිමින් කළ පර්යේෂණවලිනි. විද්‍යාඥයන් මෙම පර්යේෂණයට මෙම පණුවන් යොදා ගත්තේ ඇයිදැයි ඔබට ප්‍රශ්නයක් වනු නිසැකය. ඊට හේතුව සරලය. පර්යේෂණ සඳහා මෙම පණුවන් යොදා ගෙන ඇත්තේ උන්ගේ ජානමය ව්‍යුහය මිනිස් ජානවලට යම් සමාන බැවිනි.
මෙම පණුවන්ට රිල්මෙනිඩීන් ඖෂධය ලබා දුන් විට, උන් සාමාන්‍ය පණුවන්ට වඩා වැඩි කාලයක් ජීවත් වන බවත්, උන්ගේ සෞඛ්‍ය මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතින බවත් තහවුරු වී ඇත. ඉන්පසු, මීයන් යොදාගෙන සිදුකළ පර්යේෂණවලදී ද රිල්මෙනිඩීන් මගින් සිරුරේ අක්මාව සහ වකුගඩුවල සෛලවලට ආහාර පාලනයකදී ලැබෙන වාසිදායක බලපෑම ලැබෙන බව තහවුරු වී ඇත.
ඒ අනුව, වයස්ගත වීමත් සමඟ ඇතිවන රෝග පාලනය කිරීමට මෙම සොයාගැනීම ඉතා වැදගත් බව පැවැසෙයි. මෙහි ඇති සුවිශේෂීම කරුණ රිල්මෙනිඩීන් දැනටමත් ලොව පුරා වෛද්‍යවරුන් විසින් රෝගීන්ට නිර්දේශ කරන, ආරක්ෂිත බව තහවුරු කළ ඖෂධයක් වීමය.

