හිස්බුල්ලා ලොක්කා ඊශ්‍රායල ප්‍රහාරයට බිලි



ඊශ්‍රායල හමුදා ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමින් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සංවිධානයේ ඉහළ පෙළේ නායකයකු වන හයිතම් අලි අල් තබ්තබායි ජීවිතක්ෂයට පත් විය. හයිතම් අලි අල් තබ්තබායි හිස්බුල්ලා සංවිධානයේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.

ලෙබනනයේ ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය ඉරානයේ අනුග්‍රහය ලබන සංවිධානයකි. හිස්බුල්ලා සංවිධානය දේශපාලන අංශයකින් පමණක් නොව සන්නද්ධ අංශයකින් ද නිර්මාණය වී ඇත. හිස්බුල්ලා සංවිධානය පිහිටුවීම සිදුවූයේ ද ගාසා තීරයේ මුස්ලිම් පලස්තීනුවන්ට එරෙහිව යුදෙව් ඊශ්‍රායලයෙන් එල්ල වන කෙණෙහිලිකම් නිසාය.

ඊශ්‍රායලය 2015 දී හයිතම් අලි අල් තබ්තබායි ඝාතනය කිරඑීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය. ඒ දකුණු සිරියාවේදීය. එදා සිට ඔහු සැඟවී ජීවත් වුණු බව පැවැසෙයි. තබ්තබායි උපත ලබා ඇත්තේ 1986 දීය. 2015 වසරේ ඊශ්‍රායල හමුදා හයිතම් අලි අල් තබ්තබායි ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයෙන්, තබ්තබායිගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්විය.

තබ්තබායි ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් පවසා ඇත. ඊශ්‍රායලය එල්ල කළ එම ප්‍රහාරයෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ. තුවාල ලැබූ ගණන 28 කි. හිස්බුල්ලා සාමාජිකයන් පමණක් නොව, සිවිල් වැසියන් ද ඒ අතරේ සිටින බව පැවැසෙයි.

හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ සටන් විරාමයක් පවතී. ඒ පසුගිය ඔක්තෝබර් 10 වැනිදා සිටය. ඊශ්‍රායලය, මෙම සටන් දිගින් දිගටම උල්ලංඝනය කරමින් ප්‍රහාර එල්ල කරන බවට ලෙබනන් රජය චෝදනා නගයි.
මේ අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත්තේ, හිස්බුල්ලා ත්‍රස්ත ඉලක්කවලට නොකඩවා ප්‍රහාර එල්ල කරන බවය.

“අප ලෙබනනයේ හිස්බුල්ලා ත්‍රස්ත සංවිධානය අඩපණ කරලයි තියෙන්නේ. හිස්බුල්ලා සංවිධානයට යළි හිස ඔසවන්න අප ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අප කළ හැකි හැමදේම කරන්න පසුබට වෙන්නේ නැහැ” යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කර ඇත.


RECOMMEND POSTS