රියාද් ගුවන්තොටුපොළට දිගටම හූති මිසයිල ප්‍රහාර

සෞදි අරාබියේ, රියාද් අගනුවර, ජාත්‍යන්තර ගුවන්තොටුපොළට, හූති ෂියා මුස්ලිම් සටන්කාමීන්ගෙන් අද (12) තවත් මියසිල ප්‍රහාරයක් එල්ල විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම මිසයිල ප්‍රහාරයෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 11 දෙනකු තුවාල ලැබූ බවත්ය.
මිසයිල ප්‍රහාරයත් සමග, ගුවන්තොටුපොළේ මගී පර්යන්තයක ගන්නක් ද හට ගැණුනි. මියගියේ පාකිස්තාන ජාතිකයකු බව පැවැසෙයි.
රියාද් අගනුවර, ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කරගනින් යේමනයේ හූති සටන්කාමීන් ඊයේ (11) එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් මියගිය ගණන 13 කි. තුවාල ලැබූ ගණන 308 ක් බව පැවැසෙයි. හූති සටන්කාමීන් සෞදියට පහර දෙන්නේ බලැස්ටික් සහ කෲස් වර්ගයේ මිසයිලවලිනි. හූති සටන්කාමීන්ට සහාය දක්වන්නේ ෂියා මුස්ලිම් ඉරානයයි.
නැගෙනහිර සෞදියේ, තෙල් පහසුකම් පරිශ්‍රයන් සහ දම්මාම් ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් ද හූති සටන්කාමීන් ප්‍රහාර එල්ල කරන බව මාධ්‍ය වාර්තා පවසයි.
යේමන රජය සෞදි හිතවාදීය. යේමන හූති සටන්කාමීන් යේමන රජයට එරෙහි සිවිල් යුද්ධයක නියැලී සිටී. හූති සටන්කාමීන්ට එරෙහිව සෞදි හමුදාව මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, හූති සටන්කාමීන්, සෞදියට පහර දෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

