මත ගැටුම් පැවතියත් ඉන්දියාව හොඳ මිතුරෙක්



ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණි, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතරේ හමුවක් පැවැත්විණි. 

ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ඇතැම් කරුණු සම්බන්ධයෙන් මතභේද පැවැතියත්, දෙරටටම වැදගත් වන මූලික කරුණු පිළිබඳව පවතින්නේ පොදු පැහැදිලි එකඟතාවයක් බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මාධ්‍ය හමුවේ පැවැසීය.

ඉන්දියාව දිනෙන් දින දියුණු වන බලවත් රාජ්‍යයක් බවත්, ඉන්දියාව ඇමෙරිකාවට, ප්‍රබල භූ-දේශපාලනික සහකරුවකු බවත්, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ නීතියේ ආධිපත්‍යය වැනි බොහෝ පොදු අගයන් දෙරට අතර පවතින බවත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ඉන්දීය විදේශ ඇමැතිවරයා හමුවීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් කියා සිටියේය.

රුසියන් යුක්රේන යුද්ධය ගැනත්, ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදය ගැනත් රූබියෝ සහ ජයිශංකර් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

ඊට අමතරව, ආර්ථික, වෙළෙඳ සහ තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණි.

ඉන්දු ශාන්තිකර කලාපයේ ජාත්‍යන්තර නැව් ගමනාගමනය සඳහා ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ විශේෂ අවධානයක් යොමු වුණු බව ද පැවැසෙයි.

ඉන්දු-ශාන්තිකර මුහුදු කලාපය, කිසිදු රටකට හිමිකම් කීමට හෝ ආධිපත්‍යය පැතිරවීමට නොහැකි වන පරිදි එය ‘නිදහස් හා විවෘත’ කලාපයක් ලෙස පවත්වාගෙන යෑමට සාකච්ඡාවලදී රූබියෝ සහ ජයිශංකර් අතරේ, එකගත්වයක් ඇති කර ගැනුණි.
 


RECOMMEND POSTS