ට්‍රම්ප්ගේ ඇමතුම් මෝදි මඟ හැරලා



ඇමෙරිකාවට ආනයනය කරන ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරුබදු ක්‍රියාත්මක කිරීම ඊයේ (27) සිට ආරම්භ විය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට අවස්ථා හතරකදී ඇමතුම් ලබා දුන් නමුත් මෝදි ට්‍රම්ප්ගේ ඇමතුම් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වොෂින්ටනය හෝ නවදිල්ලිය හෝ කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැත.

ට්‍රම්ප් පරිපාලනය, ඉන්දියාවට මෙසේ සියයට 50 ක බදු පැනවීමක් කළේ රුසියන් යුක්රේන යුද්ධය හමුවේ, ඇමෙරිකාව, රුසියාවට සම්බාධක පනවා තිබියදී, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට එරෙහිවය. ඉන්දියාව යනු ලොව දැවැන්තම තෙල් ආනයනයකරුවෙක්.

පරිපාලනය පැනවූ බදු සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පවසා ඇත්තේ ‘පීඩනය වැඩිවෙයි. ඒත් අපි එම පීඩනය අප දරාගන්නවා. කොච්චර පීඩනයක් ආවත් කමක් නෑ, ඊට ඔරොත්තු දීමට අපේ ශක්තිය දිගටම ඉහළ නංවා ගන්නා’ යනුවෙනි.

ඉන්දියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දිරිගන්වමින් මෝදි පැහැදිලි කර ඇත්තේ, ‘අප සියලු දෙනා අනුගමනය කළ යුත්තේ 'ඉන්දියාවේ නිෂ්පාදිත' භාණ්ඩ පමණක් මිලදී ගැනීමේ මන්ත්‍රය’ බවය.

අග්‍රාමාත්‍ය මෝදි විසින් ස්වදේශීය නිෂ්පාදන සඳහා ජනතාව උනන්දු කරවීමට ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


RECOMMEND POSTS