ගමන් මල්ලක අභිරහස් කාන්තා මළ සිරුරක්

ඕස්ට්රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ ඕලන් ප්රදේශයේ මාර්ගයක් අසල ගමන් මල්ලක තිබී හමුවූ කාන්තාවකගේ යැයි සැක කෙරෙනු මළ සිරුර ජීවමාන කාන්තාවකට සමාන බෝනික්කෙකුගේ බව පැය 20කට අධික කාලයක් සිරුර පරික්ෂා කිරීමෙන් අනතුරුව පොලිසිය තහවුරු කරගෙන ඇත.
ගෝල්බර්න් නගරයට කිලෝමීටර් 60ක් පමණ දකුණින් පිහිටි ඕලන් ප්රදේශයේදී පසුගිය 9 වැනිදා දහවල් 12.50ට පමණ මෙම ගමන් මල්ල පිළිබඳව තොරතුරු පොලිසියට ලැබී තිබිණි. එම අවස්ථාවේ නිව් සවුත් වේල්ස් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර සිටියේ ගමන් මල්ලේ තිබෙන සිරුර කාන්තාවකගේ බවට සැක පළ කරන බවයි.
අනතුරුව එම ගමන් මල්ල එම ස්ථානයේම පරික්ෂා කිරීමට පොලිසිය කටයුතු නොකළ අතර ගමන් මල්ල මෘත ශරීරාගාරයක් වෙත රැගෙන ගොස් පැය 20 කට අධික කාලයක් ඉතාමත් ප්රවේශමෙන් පරික්ෂා කර තිබිණි. එම ස්ථානයේ ගමන් මල්ල පරික්ෂා කළහොත් මිනීමරුවා පිළිබඳ සුළු සාක්ෂියක් විනාශවීමට ඉඩ තිබීම හේතුවෙන් නිව් සවුත් වේල්ස් පොලිසිය මෙලෙස එම ගමන් මල්ල මෘත ශරීරාගාරයක් වෙත රැගෙන ගොස් ඇත.
පැය 20කට අධික කාලයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව නැවතත් නිව් සවුත් වේල්ස් පොලිසිය මාධ්ය නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි සඳහන් ව තිබ්බේ ගමන් මල්ලේ තිබෙන කාන්තාවකගේ බවට සැක කෙරෙනු මළ සිරුර සැබැවින්ම ජීවමාන කාන්තාවකට සමාන බෝනික්කෙකුගේ බවත් ඒ හේතුවෙන් මිනීමැරුමක් ලෙස සැකකර ආරම්භ කළ අපරාධ විමර්ශනය අවසන් කරන බවත්ය.
නාසය විද කරාබුවක් දමා තිබීමත් සිරුරේ තැනින් තැන සිරීම් සහ තුවාල තිබීමත් හේතුවෙන් ගමන් මල්ලේ තිබූ මළ සිරුර කාන්තාවකගේ බවට සැක පළකළ බව නිව් සවුත් වේල්ස් පොලිසිය ප්රකාශ කළේය.

