ඇමෙරිකන් ජනපති වීසා 300,000 ක් අවලංගු කරලා



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලය තුළ වීසා 300,000 කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇමෙරිකාවේ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක වන පසුබිමක මෙම සංඛ්‍යාලේඛන ප්‍රසිද්ධියට පත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළ බවය.

ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මීට පෙර ඉකුත් අගෝස්තු 10 වැනිදා නිකුත් කළ යාවත්කාලීන කිරීමකට අනුව, 2025 ජනවාරි මාසයේදී ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලය ආරම්භ වූ දා සිට අවලංගු කර තිබූ වීසා සංඛ්‍යාව 175,000 ඉක්මවා තිබුණි.

නව සංඛ්‍යාලේඛන අනුව, මෑත සති කිහිපය තුළ වීසා අවලංගු කිරීමේ වේගය තවදුරටත් ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු වන පිගොට් සඳහන් කර ඇත්තේ, වීසා මත ඇමෙරිකාවේ රැඳී සිටින විදේශිකයන් නීතිය උල්ලංඝනය කිරීම, වංචා සිදු කිරීම හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාවල නිරත වීම සම්බන්ධයෙන් පරිපාලනය කිසිදු ඉවසීමක් නොදක්වන බවය.

කෙසේ නමුත්, ට්‍රම්ප් පරිපාලනයේ මෙම ක්‍රියාමාර්ග මානව හිමිකම් සංවිධානවල විවේචනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.


RECOMMEND POSTS