බිඳෙන අස්ථි අලවන මැලියමක්
බිඳෙන අස්ථි ඇලවිය හැකි සුවිශේෂී මැලියම් විශේෂයක් නිපදවීමට චීන විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. මෙම මැලියම් වර්ගය භාවිතයට ගනිමින් මිනිත්තු 3 ක් වැනි කෙටි කාලයකදී බිඳෙන අස්ථි ඇලවිය හැකි යැයි ඔවුහු පෙන්වා දෙති.
මෙම සොයා ගැනීමට දායක වන්නේ චීනයේ ෂෙජියෑං පළාතේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමකි. ඔවුන් මැලියම් වර්ගය නම් කර ඇත්තේ බෝන් 2 (Bone 2) යන නමිනි. මෙම පර්යේෂණයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ විකලාංග ශල්‍ය වෛද්‍යවරයකු වන ලින් ෂියැන්ෆෙන්ග් ය.
මෙම මැලියම් නිපදවීමට තමන්ට කල්පනා වූයේ පාලම්වල දිය යට කොටසේ, එම පාලම්වලට තදින් ඇලී ගැලී සිටින මුහුදු බෙල්ලන් නිරීක්ෂණ කිරීමෙන් යැයි ලින් ෂියැන්ෆෙන්ග් පවසා ඇත.
රුධිරය තැවරී අති විට පවා මෙම මැලියම් වර්ගය බිඳුණු අස්ථි මතුපිටට එන්නත් කළ හැකි බවත්, විනාඩි ඇතුළත නිවැරදිව අස්ථි යළි තිබුණු ආකාරයට ඇලවීම කළ හැකි බවත් පැවැසෙයි. අස්ථි නිවැරදි ලෙස සවි වී ප්‍රකෘති තත්වයට පත් වෙද්දී, මැලියම් සිරුරට උරාගෙන නැතිවී යයි. එයින් හානියක් සිදුවන්නේ නැත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ බිඳුණු අස්ථි යළි නිවැරදි ලෙස සකස් කිරීමට යොදන ඇණ සහ තහඩු කිසිවක් අවශ්‍ය නොවීමය. සාමාන්‍යයෙන් අස්ථි එකිනෙකට රඳවා තබන ඇණ සහ තහඩු ආදිය අස්ථි සුව වූ පසු යළි සැත්කමක් කර ඉවත් කිරීමට සිදුවෙයි. එසේ වුවත් මෙම බෝන් 2 මැලියම් යෙදීමෙන් එවැනි දෙවැනි සැත්කමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැත. ආසාදන අවදානමක් හෝ අසාත්මිතා හෝ කිසිවක් නැත.
රසායනාගාර පරීක්ෂණවලින් බෝන් 2 නමැති මෙම එන්නත් කළ හැකි මැලියම් වර්ගය ආරක්ෂිත බවත්, ඉක්මන් සහ කාර්යක්ෂම බවත් තහවුරු වී ඇත. තහඩු සහ ඇණ යෙදීමට විශාල කැපුමක් කිරීමට සිදුවන නමුත්, මැලියම් යෙදීම සිදුවන්නේ එක්ස් රේ වාර්තා අනුව අදාළ තැනට පමණි. එහෙයින් ලොකු කැපීමක් සිදු කිරීමට ද අවශ්‍ය නෙවෙයි.
සායනික පර්යේෂණ සාර්ථක විමෙන් පසු මේ වන විට අස්ථි බිඳීම්වලට ලක්වුණු රෝගීන් 180 දෙනකු සඳහා මෙම මැලියම් භාවිතය සිදු කර ඇතැයි ද වෛද්‍ය ලින් ෂියැන්ෆෙන්ග් ඇතුළු ඔහුගේ කණ්ඩායම පවසයි.
ලයිව් සයන්ස් ඇසුරිනි