පිළිකා නසන සුපිරි එන්නතක්

රුසියන් විද්‍යාඥයන් නිර්මාණය කළ, පිළිකා නසන එන්න ගැන පුවත ඔබට මතකද? එන්ටරෝමික්ස් නමැති එම එන්නත සම්බන්ධයෙන් සුබවාදී අදහස් සමාජ මාධ්‍ය හරහා පවා හුවමාරු විය. රුසියන් විද්‍යාඥයෝ, 'කොවිඩ් 19' වසංගත සමයේ දී, රුසියාව එම්ආර්එන්ඒ තාක්ෂණය භාවිතයට ගනිමින්, 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ස්පුට්නික් 5 නමැති ප්‍රතිශක්තිකරන එන්නත නිර්මාණය කළහ. එම තාක්ෂණය භාවිතයට ගනිමින්, රුසියාවේ ජාතික වෛද්‍ය පර්යේෂණ රේඩියෝලොජිකල් මධ්‍යස්ථානය, රුසියානු විද්‍යා ඇකඩමියේ එංගල්හාර්ඩ් අණුක ජීව විද්‍යා ආයතනය එක් වී, පිළිකා නසන එන්ටරෝමික්ස් එන්නත නිර්මාණය කර ඇත.
සරලව පැහැදිලි කළොත්, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පිළිකා සෛල හඳුනා ගැනීමට සහ විනාශ කිරීමට උපදෙස් ලබා දීම එන්නත මගින් සිදුවෙයි. පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල විනාශ කිරීම හෝ ඒවා වර්ධනය වීම අඩපන කිරීමට මෙම එන්ටරෝමික්ස් එන්නතට හැකිවාන ඇති බව සායනික පර්යේෂණවලින් තහවුරු වී ඇත. සෑම රෝගියකුටම ඔහුගේ හෝ ඇයගේ සිරුරට ගැළපෙන පරිදි එන්නත ඔහු හෝ ඇය වෙනුවෙන් ම නිර්මාණය කෙරේ. එන්නතේ නිෂ්පාදන පිරිවැය රුබල් 300,000 (ඇමරිකානු ඩොලර් 2,870) කි. එසේ වුවත්, සියලු රුසියාවේ සියලු පිළිකා රෝගීන්ට එය නොමිලේ ලබා දෙන්නැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කිරීම සැබැවින්ම අපූරුය. පිළිකා නසන මෙම එන්නත හරහා රුසියාව, ලොව කාගේත් අවදානයට ලක් වූ බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැත.
දැන් තවත් පිළිකා නසන එන්නතක් ගැන පුවතක් කරළියට පැමිණ ඇත. මේ එන්නත නිපදවා ඇත්තේ රුසියාවට නොදෙවැනි වීමට අකමැති ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකන් විද්‍යාඥයන්ට අනුව, ඔවුන් නිපදවූ මෙම එන්නත පිළිකා නසන සුපිරි එන්නතකි. මෙම එන්නත පිළිකාවක් ඇතැයි හඳුනා ගැනෙන රෝගීන්ට ලබා දෙන එන්නතක් නොව, පිළිකාවකට ගොදුරු වීමේ අවදානමක් ඇති අයට ලබා දෙන එන්නතකි. පිළිකාවක් වර්ධනය වී එය පැතිරෙන්න පටන් ගැනීමට පෙර, ඊට එරෙහිව සිරුර තුළ ප්‍රතිශක්තියක් ඇති කිරීමට සලස්වන ආකාරයේ මෙම එන්නත නිර්මාණය කර ඇත්තේ ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ජනපදයේ විද්‍යාඥයන් කණ්ඩායමකි. මාරාන්තික පිළිකා කීපයක්, වර්ධනය වීමට පෙර නවත්වා ගැනීමට තම එන්නතට හැකියාව ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙලනෝමා, අග්න්‍යාශයික සහ පියයුරු පිළිකා ඊට ඇතුළත් වෙයි.
සරලව පැහැදිලි කළොත් මෙම සුපිරි එන්නතට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන මේද අණු වලින් සාදන ලද ඉතා කුඩා නැනෝ අංශු ඇතුළත් කර ඇත. එහිදී, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වී, පිළිකා වර්ධනය අඩපණ වීම සිදුවෙයි. මෙම සුපිරි එන්නතට තවමත් නමක් යොදා නැත. මෙය සායනික පර්යේෂණ සඳහා ද තවමත් නිර්දේශ කර නැත. පර්යේෂණ මට්ටමින් ඇති මෙම එන්නත අත්හදා බලා ඇත්තේ මීයන් යොදාගනිමින් පමණි. මීයන්ගේ සිරුර තුළ පිළිකා ගෙඩි වර්ධනය වීමට සලස්වමින්, ඊට පෙර එන්නත් ලබා දී පිළිකා මර්දනය කිරීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ සමත් වී සිටිති.
ඩේලිමේල් ඇසුරිනි

