කුසගින්නේ ආශ්චර්යය
බෝ නොවන රෝග, පිළිකා ආදිය වයස් භේදයකින් තොරව අද සමාජයේ බහුලය. මේ රෝගී තත්ත්වයන් බොහොමයකට හේතුව අපගේ ආහාර රටාව බව අමුතුවෙන් කිව යුතු නැත. ඒත් අප උදේ අවදි වූ වේලාවේ පටන් ආහාර ගැනීම කළ යුතුමද? වේල් තුනක් ආහාර ගැනීම කළ යුතුමද? මේ කියන්න සූදානම් වන්නේ කුසගින්නේ ආශ්චර්ය හෙවත් ඔටෝෆජි ගැනය.
ජපන් ජාතික විද්‍යාඥ යොෂිනොරි ඕසුමි ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පවා ලොකු කතාබහක් නිර්මාණය වී ඇත. ඕසුමි, වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගත් අයෙකි. ඒ, අද ඊයේ නොව; 2016 වසරේදීය. එදා ඔහුට නොබෙල් ත්‍යාගය හිමිවූයේ අප කිසිවකු නොසිතූ අන්දමේ විස්මිත සොයා ගැනීමක් හේතුවෙනි. අප ශරීරයට තනිවම සුව වීමේ සහ අලුත්වැඩියා වීමේ පුදුමාකාර හැකියාවක් පවතින බවත්, එම ක්‍රියාවලිය සක්‍රීය කිරීම සඳහා ප්‍රධානතම යතුර වන්නේ අප ගන්නා ආහාර ප්‍රමාණය සීමා කිරීම හෝ යම් කාලසීමාවක් නිරාහාරව සිටීම බවත් ඕසුමි පෙන්වා දුන් අතර, නෙබෙල් ත්‍යාගය ඊට හිමිවිය.
විද්‍යාඥ යොෂිනොරි ඕසුමි පැහැදිලි කරන මෙම ක්‍රියාවලිය හැඳින්වෙන්නේ, ‘ඔටෝෆජි’ නමිනි. ග්‍රීක භාෂාවෙන් බිඳී ආ මෙම වචනයේ සරල අර්ථය වන්නේ ‘තමන්, තමන්වම අනුභව කිරීම’ යන්නය. ‘තමන්, තමන්වම අනුභව කිරීම’ යන වදනක් ඇසෙද්දී, එය කිසියම් බියකරු දෙයක් ලෙස පෙනුනත්, සත්‍ය වශයෙන්ම මෙය ශරීරය තුළ සිදුවන ඉතා හිතකර ස්වභාවික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකි.
අප දිනපතා ආහාර ගන්නා විට, ශරීරය නිරන්තරයෙන්ම කාර්යබහුල වන්නේ එම ආහාර දිරවීමට සහ ඒවායේ පෝෂ්‍ය පදාර්ථ බෙදා හැරීමටය. නමුත් අප යම් කාල පරාසයක්, උදාහරණයක් ලෙස පැය 12කට හෝ 16කට වඩා කාලයක් නිරාහාරව සිටින විට ශරීරයට පිටතින් ශක්තිය ලැබීම නතර වෙයි. එවිට, ශරීරය ජීවත් වීම සඳහා ශක්තිය සොයා ගැනීම සිදු කරන්නේ ශරීරය තුළ ඇති දේවල්වලිනි. සෛල තුළ එකතු වී ඇති අක්‍රිය වූ ප්‍රෝටීන කැබලි, හානි වූ සහ විකෘතියට ලක්වුණු සෛල කොටස් (පිළිකා වැනි), වයිරස හෝ අහිතකර බැක්ටීරියා වැනි විෂ ද්‍රව්‍ය එක්රැස් කර ඒවා බිඳ දමා ශක්තිය බවට පත් කරගැනීම ආරම්භ කරයි. සරලව පැහැදිලි කළොත්, මෙය නිවසක් පිරිසිදු කිරීමට සමාන ක්‍රියාවලියකි. නිවසේ ඇති අනවශ්‍ය කුණු කසළ ඉවත් කර ඒවා ප්‍රතිචක්‍රීකරණය කර නැවත ප්‍රයෝජනයට ගැනීමක් මෙහිදී සෛලීය මට්ටමෙන් සිදුවෙයි.
මෙම ඔටෝෆජි ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ ශරීරය තුළ දැවැන්ත සුව කිරීමේ මෙහෙයුමක් ද සමඟය. මෙහි ඇති ප්‍රධානතම වාසිය වන්නේ අප කවුරුත් කැමැති වයසට යෑමේ ක්‍රියාවලිය පමා කිරීමය. කාලයත් සමඟ අපගේ සෛල තුළ කුණු කසළ එකතු වීම නිසා සෛල දුර්වල වී සම රැලි වැටීම සහ අවයව දුර්වල වීම සිදුවෙයි. එහෙත්, නිරාහාරව සිටීමෙන් නැතිනම් උපවාස කිරීමෙන්, මෙම අපද්‍රව්‍ය ඉවත් කරන නිසා සෛල අලුත් වී තරුණ බව රැක ගැනීමට විශාල පිටිවහලක් ලැබෙයි. එමෙන්ම මොළය ආශ්‍රිතව හටගන්නා ඇල්සයිමර් සහ පාකින්සන් වැනි රෝගවලට හේතු වන විෂ සහිත ප්‍රෝටීන තැන්පතු ඉවත් කිරීමට ද මෙම ක්‍රියාවලිය උපකාරී වන බව බටහිර පර්යේෂණ මගින් තහවුරු වී ඇත. අද තරුණ පරම්පරාව පවා බොහෝ දෙනකු නියමිත පැය ගණනක් නිරාහාරව හුදෙක් බර අඩු කරගැනීමේ අරමුණින්ය. නමුත් නිරාහාරව සිටීම මොළයේ සෞඛ්‍යයට පවා ඉතා වැදගත් වෙයි.
අප සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට ද උපවාසය ඉවහල් වෙයි. සෛලයක් තුළ යම් විෂබීජයක් හෝ වයිරසයක් ඇත්නම් ඔටෝෆජි ක්‍රියාවලිය මගින් එය විනාශ කර දැමීම සිදු කරයි. පිළිකා සෛල ඇතිවීමේ අවදානම අඩු කිරීමටද මෙය දායක විය හැකි බව විද්‍යාඥයන් පෙන්වා දෙයි. ශරීරයේ ඇති ප්‍රදාහය හෙවත් අනවශ්‍ය ඉදිමීම් සහ වේදනා තත්වයන් පාලනය කිරීමට ද මෙම විවේක කාලය ශරීරයට වැදගත් වෙයි. නිරන්තරයෙන් ආහාර ගැනීම නිසා ඉන්සියුලින් හෝමෝනය ඉහළ මට්ටමක පැවතීම දියවැඩියාව වැනි රෝගවලට අත වැනීමකි. නමුත් වරින් වර සිදු කරන උපවාසය මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කර ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කරයි.
කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය පිළිබඳව අද සමාජයේ ඇත්තේ වැරදි අවබෝධයකි. බොහෝ දෙනා සිතන්නේ නිරාහාරව සිටීම යනු ශරීරයට දෙන දඬුවමක් බවය. කෙසේ නමුත්, යොෂිනොරි ඕසුමිගේ සොයාගැනීම අපට උගන්වන්නේ කුසගින්න යනු ඖෂධයක් බවය. මෙය වර්තමානයේ අප කවුරුත් හොඳින් දන්නා 'අන්තර්වාර උපවාසය' (ඉන්ටර්මිටෙන්ට් ෆාස්ටිං) ලෙස ප්‍රචලිත වී ඇත. මෙය සිදු කළ යුත්තේ නිසි අවබෝධයකින් යුතුවය. සීමාව ඉක්මවා දින ගණන් නිරාහාරව සිටීම ශරීරයට අහිතකර විය හැකි අතර, නිශ්චිත පැය ගණනක් ආහාර ගැනීමෙන් වැළකී සිටීම වඩාත් ප්‍රතිඵලදායක ක්‍රමයයි. විශේෂයෙන්ම රාත්‍රී ආහාරය වේලාසනින් ගෙන පසුදා උදෑසන ආහාරය තරමක් ප්‍රමාද කිරීමෙන් ඉතා පහසුවෙන් මෙම පැය 16ක පමණ පරාසය ලබා ගත හැක.
නවීන විද්‍යාව විසින් සොයාගත් මෙම ඔටෝෆජි සංකල්පය අපගේ පෞරාණික ආගමික හා සංස්කෘතික උපවාස ක්‍රමවල විද්‍යාත්මක පසුබිම මැනවින් තහවුරු කරන බව ද කිවයුතුමය. අප ආහාර ගන්නා වේලාවන් සහ රටාවන් වෙනස් කිරීම වැනි සරල ජීවන රටා වෙනසක් මගින් මිල අධික ඖෂධවලින් ලබාගත නොහැකි සෞඛ්‍ය සම්පන්න බවක් ලබා ගැනීමට අපට හැකියාව ඇත. එබැවින් වරින් වර ශරීරයට විවේකයක් ලබා දී ස්වයං - සුවකිරීමේ මෙම ක්‍රියාවලියට ඉඩ දීම දීර්ඝායුෂ ලැබීමට ඇති හොඳම මාර්ගයකි.

