අලස ඇස

ඔබේ දරුවාගේ ඇස පිටතට නොපෙනෙන ලෙස අන්ධ විය හැකි බව දන්නවාද? මෙම තත්ත්වය හැඳින්වෙන්නේ ඇම්බ්ලියෝපියාව (Amblyopia) යනුවෙනි. සිංහලෙන් මෙය දෘෂ්ටිහීනතාවයයි.
දරුවා පොත් බලද්දී හෝ ටීවී බලද්දී ඔළුව පැත්තකට හරවනවාද? නැතිනම්, එක ඇසක් පියවා බලන්න උත්සාහ කරනවාද? බැලූ බැල්මට ඇස් දෙක ලස්සනට, නිවැරදිව තිබුණත්, දරුවාගේ එක ඇසක පෙනීම මොළය විසින් ක්‍රමයෙන් අක්‍රිය කරමින් පවතිනවා විය හැක. වෛද්‍ය විද්‍යාවේදී මෙය ඇම්බ්ලියෝපියාව (Amblyopia) හෙවත් අලස ඇස (Lazy Eye) ලෙස හැඳින්වෙයි.
අපට පෙනීම ලැබෙන්නේ ඇසෙන් පමණක් නොවෙයි. ඇසට ග්‍රහණය වන සියල්ල මොළයේ දෘශ්‍ය වල්කය (Visual Cortex) වෙත යැවීම සිදු කරයි. පෙනීම තහවුරු කරන්නේ අපගේ මොළයයි. කුඩා අවදියේදී (උපතේ සිට වයස අවුරුදු 7-8 දක්වා) මෙම ඇස සහ මොළය අතර ස්නායු සම්බන්ධතාව වේගයෙන් වර්ධනය වෙයි.
යම් හේතුවක් නිසා එක් ඇසකින් මොළයට ලැබෙන රූපය බොඳ වී ඇත්නම් හෝ ඇස් දෙකෙන් වෙනස් රූප දෙකක් ලැබෙන්නේ නම්, මොළය විසින් ඒ බොඳවෙන ඇසෙන් එන සංඥා ගණන් නොගෙන මඟහැරීමට පටන් ගනී. ප්‍රතිඵලය වන්නේ මොළය විසින් අදාළ ඇස භාවිත නොකිරීම නිසා එම ඇස ‘අලස’ වීමය.
ඇම්බ්ලියෝපියාව සත්ව ලෝකයේ හොඳ අනුවර්තනයක් වුවත්, මනුෂ්‍ය ලෝකයට එය එසේ නොවන්නේ අක්ෂි ශල්‍ය වෛද්‍ය විද්‍යා ව නිසා ඇස් දෙකෙහිම පෙනීම එකසේ තීව්‍රව තබා ගැනිමට හැකිවන නිසාය. ඇම්බ්ලියෝපියාව සඳහා බලපාන හේතුවන්නේ එක් ඇසක ඇතිවන වපරය, සුද හෝ ඇසෙහි විනිවිද භාවය අවම කරන හේතු සහ එක් ඇසක පවතින දෘෂ්ටි ආබාධ ආදී හේතූන්ය.

