QR සහ ඉරාන යුද්ධය



බටහිර ආසියා කලාපයේ (ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය) බලපෑම ශ්‍රී ලාංකිකයන්ට තදින්ම දැනෙන්නට වූයේ, පසුගිය 15 වැනිදා උදෑසන ජාතික ජන බලවේග රජය විසින් ඉන්ධන බෙදා හැරීම සඳහා යළිත් කියුආර් කේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමඟය. යුද්ධය හේතුවෙන් ඉන්ධන සැපයුමට එල්ල වී ඇති දැඩි පීඩනය හමුවේ කියුආර් ක්‍රමය නැවත හඳුන්වා දෙන ලෙස රජයට දැඩි බලපෑම් එල්ල වෙමින් පැවතිණි.

පෙර, රනිල් වික්‍රමසිංහ රජය යටතේ ප්‍රථම වරට හඳුන්වා දුන් මෙම ක්‍රමය, ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය ආරම්භ වීමත් සමඟ ඇති වූ ඉන්ධන තොග රැස්කිරීමේ කලබලය පාලනය කිරීමට ඇති සුදුසුම විසඳුම ලෙස සැලකිය හැකිය. කෙසේ වෙතත්, අප්‍රේල් මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව පවසමින් රජය දින කිහිපයක් තිස්සේ මෙම ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් තිබුණි. වික්‍රමසිංහ රජයේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ඇති අකමැත්ත එම ප්‍රමාදයට හේතු වූ බව පැහැදිලිව පෙණුනි.

ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ල වන මිසයිල ප්‍රහාර සහ ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු කඳවුරුවලට එල්ල වන ප්‍රතිප්‍රහාර මධ්‍යයේ වුවද, රජයේ අතැමුන්, මුලදී මෙම බරපතල කාරණාව සම්බන්ධයෙන් එතරම් තැකීමක් කළේ නැත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා ප්‍රකාශ කළේ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඉන්ධන මිලදී ගන්නා බැවින් සැපයුම සුරක්ෂිත බවය. කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ද ඉකුත් මාර්තු 10 වැනිදා ප්‍රකාශ කළේ කියුආර් ක්‍රමයේ අවශ්‍යතාවක් නොමැති බවය. එසේ වුවත් එම සතිය අවසාන වෙද්දී, ඔහුට එම ස්ථාවරය වෙනස් කර ගැනීමට සිදුවිය.

පසුගිය 15 වැනි ඉරිදා ආරම්භ වූ කියුආර් ක්‍රමය ආරම්භයේ දී බෙහෙවින් අවුල් සහගත විය. පරණ වාහන හිමියන්ට ගැටලුවක් නොවූවත්, අලුතින් වාහන මිලදී ගත් පිරිසට ලියාපදිංචි වීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය. අවසානයේ, වාහන අංක තහඩුවේ අග ඉලක්කම අනුව (ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය) ඉන්ධන නිකුත් කිරීමට තීරණය කිරීමත් සමඟ පෝලිම්වල යම් පාලනයක් දකින්න ලැබුණි. බොහෝ පිරවුම්හල්වලට පොලිසිය සහ හමුදාව යෙදවිණි.

විපක්ෂය චෝදනා කරන්නේ රජයේ ‘අහංකාරකම’ නිසා මෙම තීරණය ප්‍රමාද වූ බවය. විපක්ෂයේ සිටියදී කියුආර් ක්‍රමය විවේචනය කළ ජාතික ජන බලවේග නායකයන්ගේ පැරණි වීඩියෝ ද සමාජ මාධ්‍යවල සංසරණය වීමට පටන් ගත්තේය. මේ පිළිබඳව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා රූපවාහිනී සාකච්ඡාවකදී කියා සිටියේ විපක්ෂයේ සිටින විට සහ ආණ්ඩුවක් පවත්වාගෙන යන විට ක්‍රියා කරන ආකාරය වෙනස් විය යුතු බවයෙ.

ආර්ථික අර්බුදය

හටගත් යුද්ධය කඩිනමින්, අවසන් වන බවක් නොපෙනෙන පසුබිමක, සතියට දින හතරක වැඩ මුරයක් හඳුන්වා දීමට රජය කටයුතු කළේය. ඒ අනුව, බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. යුද්ධය දිගින් දිගටම පැවතුනහොත් ඉන්ධන සහ බලශක්තිය ඉතිරි කර ගැනීම සඳහා තවත් පියවර ගැනීමට සිදුවනු ඇත.

පසුගිය නොවැම්බර් මාසයේදී දිට්වා සුළි කුණාටුව රට පුරා විනාශයක් සිදු කරමින් ලෝක බැංකු ඇස්තමේන්තු වලට අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1 කට වැඩි සෘජු හානියක් සිදු කිරීම නිසා, යම් යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කරමින් තිබූ ශ්‍රී ලංකා ආර්ථිකයට මෙම යුද්ධය බලපෑවේ ඉතාමත් නරකම අවස්ථාවකදීය. දැන්, රට තමන්ගේ පාලනයෙන් ඔබ්බට ගිය තවත් සිදුවීම් මාලාවක අභියෝගවලට මුහුණ දෙමින් සිටී. ඊට අමතරව, ජනාධිපති දිසානායක මහතා සහ ජාතික ජන බලවේගය රජයය පසුගිය මාස කිහිපයේ අතිශයින්ම අපහසු සහ අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දුන් බව ද සාධාරණව සලකා බැලිය යුතුය.

හිටපු මුදල් අමාත්‍යාංශ නිලධාරියකු පෙන්වා දෙන්නේ යුද්ධය අද අවසන් වුවද ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට මාස හතරක් පහක් ගතවන බවය. මේ අතර, මාර්තු 26 සිට අප්‍රේල් 9 දක්වා මෙරටට පැමිණෙන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්.) කණ්ඩායම සමඟ මූල්‍ය ඉලක්ක පිළිබඳ නැවත සාකච්ඡා කිරීමට රජයට අවස්ථාවක් ලැබෙනු ඇත.

ඉන්ධන අර්බුදයට අමතරව, ඉන්දියාවේ ට්‍රයිඩන්ට් චෙම්ෆාර් සමාගමෙන් ලබාගත් බාල ගල්අඟුරු හේතුවෙන් නොරොච්චෝල බලාගාරයේ ක්‍රියාකාරිත්වය අඩාල විය. මේ හේතුවෙන්, අප්‍රේල් මාසයේ සිට විදුලි කප්පාදුවක් සිදුවීමේ අවදානමක් පවතින බව මහජන උපයෝගිතා කොමිසම අනතුරු අඟවා ඇත. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එමෙන්ම 2014 වසරේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ලබන සිකුරාදා අධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට ද නියමිතය.

විශ්වාසභංගය

ජාතික ජනබලවේග රජයේ බලශක්ති අමාත්‍ය ජයකොඩි මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට ලංකා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සූදානම් වන අතරතුර, එම කොමිෂන් සභාවේම විශ්වසනීයත්වය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතුවී තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා 2013 එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මාර්තු 12 වන දින අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ප්‍රශ්න කිරීම්වලදී ලබා දුන් ප්‍රකාශයක් උපුටා දක්වමින්, එයාර්බස් ගනුදෙනුවෙන් ලැබුණු රුපියල් මිලියන 60 ක අල්ලස් මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොටස් තුනකින් ලබා දුන් බවත්, තවත් රුපියල් මිලියන 20ක් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට ලබා දුන් බවත් අල්ලස් කොමිසම පසුගිය බ්‍රහස්පතින්ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේ නමුත්, කපිල චන්ද්‍රසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කරමින් පවසා සිටියේ, එම ප්‍රකාශය තර්ජනය කර ලබා ගත් එකක් බවයි. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් එයාර්බස් ගනුදෙනුවට සම්බන්ධ බවට සාක්ෂි ලබා දෙන ලෙස අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමාට තර්ජනය කළ බව ද ඔහු චෝදනා කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, අල්ලස් කොමිසම විසින් සිදුකරන ලදැයි පැවසෙන මෙම බලහත්කාරී ක්‍රියාවන් ශ්‍රී ලංකාවේ ආයතනික අඛණ්ඩතාවයට එල්ල කරන ලද පහරක් බවය. මෙම චෝදනා සනාථ වුවහොත් එය නීතියේ ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට දැඩි බලපෑමක් වන බවත්, අල්ලස් කොමිසම දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීම මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවත් ඔහු අවධාරණය කළේය. එබැවින්, අල්ලස් කොමිසමේ නිලධාරීන්ට එල්ල වී ඇති මෙම බරපතල චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන, විනිවිද පෙනෙන සහ විශ්වාසනීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

මධ්‍යස්ථභාවය

යුද ගැටුම් හේතුවෙන් නිර්මාණය වී ඇති දේශීය ගැටලු සමතුලිත කිරීමට ජනාධිපති දිසානායක මහතාට සිදුවී ඇත්තේ, ජාත්‍යන්තර පෙරමුණේදී ‘මධ්‍යස්ථභාවය’ නමැති බර කරපින්නාගෙනනය‍. යුද ගැටුම් ආරම්භයේ සිටම රජයේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. මෙය අලුත් දෙයක් නොවේ; ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ප්‍රකාශ කළ ද, එය සැමවිටම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූවක් නොවේ. වත්මන් රජය සම්බන්ධයෙන් ද, මෙම මධ්‍යස්ථභාවය පිළිබඳ කතාබහ පැවතිය ද, ශ්‍රී ලංකාව ‘ඇමෙරිකානු කක්ෂයට’ ඇදී ගොස් ඇති බව පැහැදිලිය. මෙය ජනාධිපතිවරයාගේ හෝ 2024 මහ මැතිවරණයේදී ජනතා ජනබලවේග පක්ෂ ජයග්‍රහණයෙන් පසු සිදු වූවක් නොවේ. මැතිවරණයට පෙර සිටම ඇමෙරිකාව ජවිපෙ සමඟ සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ කළ අතර, බලයට පත් වූ වහාම, මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය, ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ 13 වැනි බලඇණිය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ ආරක්ෂක හවුල්කාරිත්වය විධිමත් කරමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට රජය කටයුතු කළේය.

එතැන් පටන්, ඇමෙරිකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇමෙරිකානු වෙරළාරක්ෂක යාත්‍රා හතරක් ඇතුළු හමුදා උපකරණ ත්‍යාගශීලීව ලබා දී ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සී රේජ්නර් වර්ගයේ හෙලිකොප්ටර් 10 ක් ලබා දීමද ආරම්භ කර ඇත. මෙම තොගය, මැයි 24 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දීමට දින කිහිපයකට පෙර, එනම් පෙබරවාරි 19 සිට 21 දක්වා අමෙරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කෝලර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම අහඹු සිදුවීමක් විය නොවෙයි. ලොව විශාලතම නාවික බලඇණිය මෙහෙයවන අද්මිරාල් කෝලර්, ජාතික ජනබලවේග පක්ෂය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කළ දෙවන අවස්ථාව මෙය විය; මීට පෙර ඔහු දෙසැම්බර් 2024 හිදී සංචාරයක නිරත විය.

මේ අතර, දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන අමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර්, ඉන්දු-පැසිෆික් කලාපයේ සහයෝගීතාව ඉහළ නැංවීමට ඉහළ පෙළේ සාකච්ඡා සඳහා පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු බ්‍රහස්පතින්දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති දිසානායක හමුවිය. මෙය ඔවුන්ගේ දෙවන හමුව බව ද කිව යුතුය. ඉන්දියාවේ ඇමෙරිකානු තානාපතිවරයා ද වන සර්ජියෝ ගෝර්, පෙබරවාරි මාසයේ නවදිල්ලියේ පැවති ඒ.අයි. කෘත්‍රිම බුද්ධි සමුළුවට ජනාධිපතිවරයා සහභාගී වූ අවස්ථාවේදීද ඔහු හමු විය.

මෙම විශේෂ නියෝජිතයා කොළඹ රැඳී සිටි කාලය තුළ, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඇමෙරිකානු හමුදා ගුවන් යානා දෙකක් ගොඩබෑමට කළ ඉල්ලීම තම රජය ප්‍රතික්ෂේප කළ බවත්, ඒ සමඟම මාර්තු 9 සහ 13 යන දිනවල ඉරාන නෞකා තුනකට ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ ඉල්ලීමක් ද ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරමින් රාජ්‍යතාන්ත්‍රික බෝම්බයක් හෙළුවේය. අනතුරුව, ඇමෙරිකා නාවික හමුදා සබ්මැරීනයක්, ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළදී ඉරාන නෞකා තුනෙන් එකක් වූ අයිරිස් ඩේනා, ටෝපීඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමූ අතර, ඉන් ඉරාන නාවිකයෝ 100 ක් පමණ මිය ගියහ. දිවි ගලවාගත් නාවිකයන් 32 දෙනා ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාව විසින් බේරා ගන්නා ලදී.

“ඇමෙරිකාවෙන් පැමිණි යානා දෙකක් 4 සහ 8 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රැඳී සිටීමට අවසර ඉල්ලා තිබුණා. එම යානාවල ප්‍රති මිසයිල අටක් සවි කර තිබූ බවත් සඳහන්. ශ්‍රී ලංකාව ඇමෙරිකාව සමඟ ආරක්ෂක ගිවිසුමකට එළඹ සිටින නිසා මෙම ගැටුමේ පාර්ශ්වකරුවකු වීම වළක්වා ගත නොහැකි බව සමහරු තර්ක කරනවා. මෙය වැරදියි. එම ගිවිසුමේ අපේ රට එවැනි යුද්ධයකදී කටයුතු කළ යුතු ආකාරය හෝ ඊට සහභාගී වීමට අපව බැඳ තබන කිසිදු ප්‍රතිපාදනයක් නැහැ” යැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

පෙබරවාරි 26 දින විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබුණු ඉරාන නෞකා තුනක සංචාරය පිළිබඳ විස්තර සහ එම සවස් වරුවේම මත්තල සඳහා ඇමෙරිකානු යානා ඉල්ලීම පිළිබඳව ජනාධිපතිවරයා මාර්තු 5 වන දින මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් හෙළි කළේය. එක් රටක ඉල්ලීම ගැන වහාම ප්‍රසිද්ධ කර, අනෙක් ඉල්ලීම ගැන සති දෙකකට පසු ප්‍රසිද්ධ කිරීමට හේතුවක් මෙතෙක් පැහැදිලි නැත. මෙතෙක් ඇමෙරිකානු පාර්ශ්වයෙන් තම ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

මේ අතර, විශේෂ නියෝජිත ගෝර්ගේ සංචාරය නිවේදනය කරමින් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වූයේ, අමෙරිකා-ශ්‍රී ලංකා සබඳතාවයේ වැදගත්කම තහවුරු කිරීමට සහ ප්‍රධාන අංශවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඔහු ජ්‍යෙෂ්ඨ නායකයන් හමුවන බවය. ‘විශේෂ නියෝජිත ගෝර්ගේ මෙම සාකච්ඡා මගින් වැදගත් මුහුදු මාර්ග ආරක්ෂා කිරීමට සහ වරායන් සුරක්ෂිත කිරීමට, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ සහ වාණිජ සබඳතා ශක්තිමත් කිරීමට, සහ දෙරටේම ජනතාවගේ යහපත උදෙසා නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීමට අමෙරිකාව දරන උත්සාහයට සහාය වනු ඇති’ බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ හමුදාව කෙරෙහි පමණක් නොව, සිවිල් පහසුකම් කෙරෙහි ද විශේෂ උනන්දුවක් දක්වන බව, ගෝර් මහතා කොළඹ වරාය නිරීක්ෂණය කිරීමට තීරණය කිරීමෙන් මනාව පැහැදිලි විය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා ඔහු සමඟ එක් විය. කොළඹ වරාය ක්‍රියාත්මක වන ආකාරය දැක බලා ගැනීමෙන් පසු, ගෝර් මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තැබීය. ‘මෙම තීරණාත්මක කේන්ද්‍රස්ථානය දකුණු ආසියාව ගෝලීය වෙළඳපොළවල් සමඟ සම්බන්ධ කරන්නේ කෙසේද සහ මෙහි සමුද්‍රීය ආරක්ෂාව වැදගත් වන්නේ ඇයිද යන්න පැහැදිලිය. එබැවින්, ඇමෙරිකා-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මගින් ආරක්ෂිත සහ විනිවිද පෙනෙන වෙළඳාම දියුණු කිරීමටත්, වරායේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමටත්, අමෙරිකානු නිෂ්පාදකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ලාභාංශවලට සෘජුවම බලපාන සැපයුම් දාම අඛණ්ඩතාව ආරක්ෂා කිරීමටත් උපකාරී වේ.’ එම එක්ස් සටහනේ වූයේ මෙවැන්නකි. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් දමියන් ප්‍රනාන්දු සමඟ, වරක් අමෙරිකානු වෙරළාරක්ෂක බලකායට අයත්ව තිබී මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ යෙදෙන ‘ගජබාහු’ නෞකාවේ සංචාරයක ද නිරත විය. එම නෞකාව දෙරට අතර පවතින දීර්ඝකාලීන සමුද්‍රීය හවුල්කාරිත්වයේ ශක්තිය සංකේතවත් කරන බව ඔහු පැවැසීය.

ශ්‍රී ලංකාව සමඟ සබඳතාවලදී අමෙරිකාව යොදා ගන්නා ප්‍රධාන වචන වී ඇත්තේ සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය ස්ථාවරත්වයයි. එහෙත් පසුගිය සති කිහිපයේ සිදු වූ සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ, අමෙරිකානු ක්‍රියාමාර්ග කලාපයේ වැඩි අස්ථාවරත්වයක් ඇති කර ඇති බවත්, ශ්‍රී ලංකාව තමන් කැමති නොවන තත්ත්වයකට ඇද දමා ඇති බවත්ය.

පසුගිය 20 වැනිදා ඉරානය, ඉන්දියන් සාගරයේ පිහිටි ඇමෙරිකානු-බ්‍රිතාන්‍ය දියාගෝ ගාර්සියා හමුදා කඳවුරට බැලස්ටික් බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළේය. දියාගෝ ගාර්සියා දූපත පිහිටන්නේ ශ්‍රී ලංකාවට දකුණින් කිලෝමීටර් 2000ක් වැනි කෙටි දුරිනි. යුද්ධයේ මෙම ව්‍යාප්තිය ශ්‍රී ලංකා රජයට මෙන්ම කලාපයේ අනෙකුත් රටවලටද කනස්සල්ලට කරුණක් විය යුතුය. ලෝකය කඳවුරු කිහිපයකට බෙදී යන ගැටුමකදී මධ්‍යස්ථව සිටීමට දරන උත්සාහය නිසා රජයේ පවතින ගැටලු තව තවත් උග්‍ර වනු ඇති බවට සැකයක් නැත.

 

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහයේ තුන්වන කොටසේ 6 වන වගන්තියේ සඳහන් වන, ‘මන්ත්‍රීවරුන් සෑම අවස්ථාවකදීම තමන් වෙත පැවරී ඇති මහජන භාරයට අනුකූලව කටයුතු කළ යුතු අතර, තමන් සතු ඕනෑම මහජන සම්පතක් භාවිත කිරීමේදී පවා නිරන්තරයෙන් අවංකභාවයෙන් හා සදාචාරාත්මකව හැසිරිය යුතුයි’ යන විධිවිධානය උල්ලංඝනය වී ඇති බවත්; පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහයේ පස්වන කොටසේ 9 වන වගන්තියේ දක්වා ඇති පහත සඳහන් හැසිරීම් නීති උල්ලංඝනය වී ඇති බවත්;

එනම්, (අ) හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම, (ඇ) ජනතාවගේ විශ්වාසය හා ගෞරවය ලැබෙන පරිදි කටයුතු කිරීම, (ඉ) තමන් වගකිව යුතු හැසිරීම් සහ රාජකාරි සම්බන්ධයෙන් තමන් වගවීම යන කරුණු බිඳ වැටී ඇති බවත්;

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වන වගන්තියට අනුකූලව තමා වෙත පැවරී ඇති මූලික රාජකාරි ඉටු කිරීමට අමාත්‍යවරයා අසමත් වී ඇති බව නිරීක්ෂණය වන බවත්;

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා ප්‍රමාණවත් සහ උසස් තත්ත්වයේ ගල් අඟුරු මිලදී ගැනීම සහතික කිරීමේ සිය ප්‍රධාන රාජකාරිය ඉටු කිරීමට බලශක්ති අමාත්‍යවරයා අසමත් වී ඇති බව තහවුරු වී ඇති බවත්; එවැනි තීරණාත්මක ජාතික බලශක්ති වත්කමක් අධීක්ෂණය කිරීමේදී සිදු වූ මෙම බරපතල නොසැලකිලිමත්කම අමාත්‍ය වගකීම මූලික වශයෙන් බිඳ වැටීමක් වන බවත්;

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2024 නොවැම්බර් 25 දින අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2412/08 මගින් තමා වෙත පවරා ඇති විෂයයන් සහ කාර්යයන් ඉටු කිරීමට බලශක්ති අමාත්‍යවරයා අසමත් වී ඇති බවත්;

ආයතනික කළමනාකරණ මට්ටමින් පාඩු අවම කිරීමට, විදුලි උත්පාදන හා බෙදාහැරීමේ පද්ධතියට සිදුවන තාක්ෂණික හානි අවම කිරීමට, විදුලි උත්පාදන පිරිවැය අඩු කිරීමට සහ විදුලි උත්පාදනයේදී පවතින අවිනිශ්චිතතා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම ඊට ඇතුළත් වන බවත්;

එමෙන්ම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්, ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස සේවය කළ සමයේ සිදු කළ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් අල්ලස් පනතේ (26 වන පරිච්ඡේදය) 70 වන වගන්තිය යටතේ වත්මන් බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විධිමත් අධිචෝදනා ගොනු කර ඇති බවත්;

ඉහත කරුණු සැලකිල්ලට ගත් විට, මහජන මුදල්වලට හානි කිරීම, ජාතික බලශක්ති ආරක්ෂාව අවදානමට ලක් කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය දූෂිත ලෙස හැසිරවීම, දූෂණය යන අපරාධය සම්බන්ධයෙන් ක්‍රියාකාරී අධිකරණ ක්‍රියාදාමයන්ට ලක්ව සිටීම සහ ආණ්ඩුවේම දූෂණ විරෝධී ජනවරම පාවා දීම මගින් බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජනතාවගේ විශ්වාසය ආපසු හැරවිය නොහැකි ලෙස අහිමි කරගෙන ඇති බවත්;

ඔහුගේ අඛණ්ඩ බලශක්ති අමාත්‍ය ධුරය මහජන අවශ්‍යතාවයට, නීතියේ ආධිපත්‍යයට සහ යහපාලනයේ මූලධර්මවලට පටහැනි බවත්; අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතාගේ සුදුසුකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශ්වාසයක් නොමැති බව මෙම පාර්ලිමේන්තුව තීරණය කරයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ
QR code and West Asian war:
Govt beset by growing woes ඇසුරිනි

RECOMMEND POSTS