ලෙබනන් නව අගමැතිට පාර්ලිමේන්තුවේ සහාය
ලෙබනන් නව අග්‍රාමාත්‍ය නවාෆ් අබ්දුල් සලීම් සලාම් ප්‍රමුඛ ඔහුගේ නව රජයට සහාය දක්වමින්, විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ලෙබනන් පාර්ලිමේන්තුව ආසන 128 කින් සමන්විත අතර, මන්ත්‍රීවරුන් 95 දෙනකුගේ සහාය ඊට හිමිවිය.
ලෙබනනය දේශපාලනික වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් අස්ථාවර වුණු රාජ්‍යයකි. වසර ගණනක් තිස්සේ ලෙබනනයේ පවතින දේශපාලන අර්බුදයට හේතුව, එරට දේශපාලනයට සම්බන්ධ හිස්බුල්ලා සංවිධානයයි. හිස්බුල්ලා සංවිධානය, සන්නද්ධ අංශයකින් මෙන්ම දේශපාලන අංශයකින් ද සමන්විතය.
ලෙබනනය දේශපාලනික වශයෙන් පමණක් නොව, ආර්ථිකමය වශයෙන් ද කඩා වැටීමට ලක්වීමට හේතුව හිස්බුල්ලා සංවිධානය බවට බටහිර රටවල් පවා චෝදනා කර ඇත.
පසුගිය පෙබරවාරි 8 වැනිදා නවාස් සලාම්, ලෙබනනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කළේ එරට ජනාධිපතිවරයාය. ඒ සඳහා ද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. 71 හැවිරිදි නවාෆ් සලාම්, මීට පෙර ජාත්‍යන්තර අධිකරණයේ සභාපති ලෙස කටයුතු කර ඇත. ඔහුට ජාත්‍යන්තරයේ ද පිළිගැනීමක් හිමිවෙයි.
නවාෆ් සලාම් සහ නව රජයට සහාය පළ කිරීමේ යෝජනාවට හිස්බුල්ලා මන්ත්‍රීවරුන්ගේ ද සහාය හිමිවුණු බව පැවැසෙයි. ‘ලෙබනනය යුද්ධයට නොව සාමයට කැපවනවා. ලෙබනනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ඇත්තේ අප්‍රසාදයක්. එය නැති කිරීමට මා උත්සාහ ගන්නවා. අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලබා ගනිමින් ලෙබනනය මුහුණ දෙන ආර්ථික අභියෝග ජය ගැනීමට පියවර ගන්නවා’ යැයි විශ්වාසය පළ කිරීමේ යෝජනාවට සහාය හිමිවීමෙන් පසු නවාෆ් සලාම් පැහැදිලි කළේය.
පසුගිය වසරේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතරේ යුද ගැටුම් පැවැතිණි. ඒ, හමාස් සහ ඊශ්‍රායල සංවිධානය අතරේ යුද ගැටුම්වල දිගුවක් ලෙසය. හමාස් සටන්කාමීන්ට සහාය දක්වන්නේ හිස්බුල්ලා සංවිධානයයි. හිස්බුල්ලා සංවිධානයට සහාය සහ අනුග්‍රහය දෙන්නේ ඉරානයයි. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හිස්බුල්ලා සංවිධානය දේශපාලනික වශයෙන් ද පසුබෑමට ලක්විය.