බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර



ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්, 151 දෙනකු තුවාල ලැබූ බවත් ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයෙන් ප්‍රබල පිපිරීම් රැසක් අසන්න ලැබුණු බවය.

ඊශ්‍රායලයට මායිම් වන දකුණු ලෙබනනය මෙන්ම, බේරූට් අගනුවර ඩහීහ් පළාත ද ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ බල ප්‍රදේශ ලෙස සැලකෙයි. ඩහීහ් පළාත ඇත්තේ ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසලය.

ගුවන් ප්‍රහාරය එල්ල කිරීමට පැය ගණනකට පෙර, ඊශ්‍රායලය, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ජීවත් වන ලෙබනන් සිවිල් වැසියන්ට අනතුරු ඇඟවීමක් කළේ එම ප්‍රදේශයෙන් වහා ඉවත් වන ලෙස දන්වමිනි.

ඊශ්‍රායලය, හිස්බුල්ලා සටන්කාමීන් සොයා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරද්දී, රටවල් රැසක් ලෙබනනයේ සිටින ඔවුන්ගේ වැසියන් ආරක්ෂිතව ලෙබනනයෙන් ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇත. ලෙබනනයේ සිටින එක්සත් ජාතීන්ගේ සාම හමුදා තවමත් එරට රැඳී සිටින බවත්, ඔවුන් කිසිදු මෙහෙයුමක නියැලෙන්නේ නැති බවත් වාර්තා වේ. ලෝක බැංකුව, ඊශ්‍රායල ප්‍රහාරවලින් උන්හිටිතැන් අහිමි වූ ලෙබනන් සිවිල් වැසියන්ට ආධාර වෙනුවෙන් මුදල් ලබා දීමට ඉදිරිපත් වී ඇතැයි ද පැවැසෙයි.

මේ අතර, ඊශ්‍රායල දේශසීමාවට ඔබ්බෙන්, දකුණු ලෙබනනයේ, ඊශ්‍රායල හමුදා ගොඩබිම් ප්‍රහාර ආරම්භ කර ඇති අතර, හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් ඊශ්‍රායල හමුදාට ප්‍රබල ප්‍රහාර එල්ල කරන බව ද වාර්තා වේ. 

හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායල සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවා හරින බවත්, මේ වනවිට ඊශ්‍රායල සොල්දාදුවන් 7 දෙනකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. මේ බව ඊශ්‍රායල හමුදාව ද තහවුරු කර ඇත.

ගාසා තීරයේත් බටහිර ඉවුරේත් හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ද ඊශ්‍රායල හමුදා දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ. 

බටහිර ඉවුරේ ටුල්කරීම් සරණාගත කඳවුරට ද ඊශ්‍රායල හමුදා බෝම්බ ප්‍රහාර එල්ල කළ බවත්, එම ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් නව දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS