නේටෝ සාමාජිකයන්ට ජනපති ට්‍රම්ප් දෙහි කපයි



උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ වාර්ෂික මහ සමුළුව තුර්කියේ අන්කාරා නුවරදී පැවැත්වෙයි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊට සහභාගී වන අතර, සමුළුව අමතමින්, ට්‍රම්ප් සෙසු නේටෝ සාමාජික රටවලට දොස් නැගුවේය.

තමන් නේටෝ සංවිධානයේ සාමාජික රටවල් ගැන දැඩි කලකිරීමකින් පසුවන බව ට්‍රම්ප් නේටෝ රටවල රාජ්‍ය නායකයන් අමතමින් පැවැසීය. නේටෝ සංවිධානයට ප්‍රධාන වශයෙන් මුදල් ලබා දීම සිදු කරන්නේ ඇමෙරිකාවය. ට්‍රම්ප් අවධාරණය කළේ සෙසු රටවල් ද නේටෝවේ ආරක්ෂක වියදම් දැරීමට ඉදිරිපත් විය යුතු බවය.

රුසියන් යුක්රේන යුද්ධය‍, ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට ට්‍රම්ප් ගන්නා උත්සාය සහ ඇමෙරිකා ඉරාන අර්බුදය මෙවර නේටෝ සමුළුවේදී ප්‍රධාන මාර්තෘකා බව පැවැසෙයි. නේටෝ සාමාජිකයකු නොවුණත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද අන්කාරා නුවරට පැමිණි අතර, ට්‍රම්ප් සහ සෙලෙන්ස්කී අතරේ විශේෂ හමුවක් පැවැත්වීමට ද නියමිතව තිබුණි.

ඇමෙරිකා ඉරාන යුද්ධයේ දී ට්‍රම්ප් ඇමෙරිකා හමුදාවට සහාය දෙන්නැයි නමුත් ඉතාලිය, ජර්මනිය සහ ප්‍රංශය යන නේටෝ රටවලින් ඉල්ලීම් කර තිබුණත්, එම රටවල් එම ඉල්ලීමට කන් දුන්නේ නැත. මේ සම්බන්ධයෙන් ද ට්‍රම්ප් නේටෝ සමුළුවේදී සිය අප්‍රසාදය පළ කළේය.

නේටෝ යනු යුද සන්ධානයකි. ඇමෙරිකාව, කැනඩාව, යුරෝපා රටවල් සහ තුර්කිය එහි සාමාජිකයන්ය. තුර්කිය නේටෝ සාමාජිකයකු බවට පත්වූයේ 1952 වසරේදීය. නේටෝ සංවිධානය පිහිටුවීම සිදුවූයේ ඇමෙරිකාවේ ප්‍රධාන්තවෙන් 1949 වසරේදීය. ඒ, රුසියාවෙන් (එදා සෝවියට් දේශය) එල්ල වන තර්ජනවලට මුහුණ දීමේ අරමුණින්ය. අද වනවිට නේටෝ සාමාජික රටවල් ගණන 32 කි.

නේටෝ සමුළුවට සහභාගීවීමට ට්‍රම්ප් තුර්කිය බලා පැමිණියේ ඔහුගේ නවතම එයාර් ෆෝස් වන් නිල ගුවන් යානයෙනි. මෙය ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර් රජ පවුලෙන් තෑගි ලෙස සැලුණු බෝයිං වර්ගයේ යානයකි. යානය, ඇමෙරිකන් ජනාධිපතිට ගැලපෙන ආකාරයට ඇමෙරිකන් ගුවන් හමුදාව විසින් නවීකරණය කරනු ලැබ තිබේ.

තුර්කියට පැමිණි ට්‍රම්ප්ට, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගෙන් ලැබුණු ඉතා උණුසුම් පිළිගැනීමකි. ට්‍රම්ප් සහ තුර්කි ජනාධිපති එර්දොවාන් අතරේ පවතින්නේ ඉතා සමීප මිත්‍රත්වයකි. ඉරාන අර්බුදයේදී ද සාම වැඩපිළිවෙළකට යෑම සඳහා ඇමෙරිකාවට තුර්කියේ සහාය නොඅඩුව හිමිවෙයි. බෂාර් අල් අසාද්ගේ පාලනය නිමා වීමෙන් පසු සිරියාව සමග යහපත් සබඳතා ඇති කර ගැනීමට ඇමෙරිකාවට සහාය ලබා දුන්නේ ද තුර්කි ජනාධිපති එර්දොවාන්ය.

මේ අතර, ඇමෙරිකාව තුර්කියට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට කටයුතු කරන බවත්, එරටට ‘එෆ් 25’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා අලෙවි කිරීම නැවත ආරම්භ කිරීම පිළිබඳව ඉතා ඉක්මනින් තීරණයක් ගන්නා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කි ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේය. ට්‍රම්ප් සහ එර්දොවාන් අතරේ ද්වී පාර්ශ්වීක සාකච්ඡා පැවැත්විණි. ඒ, නේටෝ සමුළුවට සමගාමීවය. තුර්කියට ‘එෆ් 25’ ගුවන් යානා විකිණීම නොකරන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.


RECOMMEND POSTS