‘‘ආයු ප්ලස්’’ ව්‍යාපෘතිය එළිදකී



ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පිළිකා මර්දනය සහා වැළැක්වීමේ සම්බන්ධයෙන් නිර්මාණය කෙරුණු ‘‘ආයු ප්ලස්’’ ව්‍යාපෘතිය කොළඹදී එළිදැක්විණි.

සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණාත්මක අයුරින් පිළිකා මර්දනය හා වැළැක්වීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවැති විශේෂ උත්සවයකදී එම ව්‍යාපෘතිය එළිදැක්විණි.

‘‘ආයු ප්ලස් +’’ ව්‍යාපෘතිය යටතේ ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රැම් යන සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනේ.

සමාජ මාධ්‍ය ඉලක්ක කරගත් මෙම ව්‍යාපෘතිය පිළිකා මර්දනය හා පාලනය සඳහා ගන්නා සුවිශේෂී පියවරක් බවත් තරුණ හා වැඩිහිටි ඇතුළු සියලු ජනකොටස් ඉතා කෙටි කලක් තුළ දැනුවත් කිරීම මෙමගින් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කරමින් නව ජීවන රටාවකට යොමු කරවීම හා නව චින්තනයක් ඇති කරවීම කෙරෙහි මේ තුළින් අවධානය යොමු කරවන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන්, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ, බෝ නොවන බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ යන මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 හර්ෂණ තුෂාර සිල්වා
ඡායාරූප ගයාන් අමරසේකර


RECOMMEND POSTS