සූර්ය බලයේ වැදගත්කම
ඉන්ටර්නැෂනල් සෝලර් අලයන්ස් International Solar Alliance (ISA) සංවිධානයේ, අධ්‍යක්ෂ ජනරාල් ආශිෂ් ඛන්නා මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටී. ඒ සූර්ය බලශක්තියේ වැදගත්කම පැහැදිලි කිරීමේ අරමුණින්ය. ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානය (ඉන්ටර්නැෂනල් සෝලර් අලයන්ස්) යනු එහි සාමාජික රටවලට බලශක්ති ප්‍රවේශය ලබා දීම, බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ බලශක්ති සංක්‍රාන්තිය මෙහෙයවීම සඳහා සූර්ය බලශක්ති තාක්ෂණ වැඩි කිරීම ආදී කාර්ය රැසකට මුල පුරා ඇති සන්ධානයකි. ආශිෂ් ඛන්නා මහතා, දකුණු ආසියාව, මැදපෙරදිග, උතුරු අප්‍රිකාව සහ උප-සහරා අප්‍රිකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් පහළොවකට අධික සංඛ්‍යාවක පෞද්ගලික හා රාජ්‍ය අංශවල බලශක්ති අංශය සංවර්ධනය කිරීමේ කටයුතුවලට සම්බන්ධව වසර විසිහයකට අධික අත්දැකීම් ඇත්තෙකි.
ඉන්ටර්නැෂනල් සෝලර් අලයන්ස් සන්ධානය යනු කුමක්ද?
ඉන්ටර්නැෂනල් සෝලර් අලයන්ස් සන්ධානය බිහිවීම සිදුවූයේ 2015 වසරේ දී පැරිස් සම්මුතියට සමගාමීවයි. ඊට නායකත්වය දුන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය. ඒක මෝදි අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක්. ඒ වගේමයි එවකට ප්‍රංශ ජනාධිපති ලෙස කටයුතු කළ ෆ්‍රන්සුවා ඕලන්ද් මහතාගේත් නායකත්වය ඊට හිමිවුණා. ඉන්ටර්නැෂනල් සෝලර් අලයන්ස් සන්ධානය පිහිටුවීම සිදුවුණේ මෝදි අග්‍රාමාත්‍යතුමාගේත් ප්‍රංශ ජනාධිපති ෆ්‍රන්සුවා ඕලන්ද් මහතාගේත් එකමුතුවෙන්. සූර්ය බලශක්තිය ගැන උනන්දුවක් දක්වන, ඒ වෙනුවෙන් කැපවීමක් පෙන්වන රටවල් අතරේ ඇති කරගත් ගිවිසුම් මත පදනම් වූ ඉන්ටර්නැෂනල් සෝලර් අලයන්ස් යනු සංවිධානයක්. 2015 දී බිහිවුණත්, ඉන්ටර්නැෂනල් සෝලර් අලයන්ස් නිල වශයෙන් ස්ථාපිත කෙරුණේ 2018 වසරේදීයි. දැන්, ඉන්ටර්නැෂනල් සෝලර් අලයන්ස් බිහිවී වසර 10 ක් සපිරෙනවා. අද වනවිට සූර්ය බලශක්තිය කෙරෙහි උනන්දුවක් දක්වන සහ සූර්ය බලශක්තියට යොමු වුණු රටවල් 124 ක් මෙම සංවිධානය සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. ශ්‍රී ලංකාව ද එම රටවල් 124 ඇතුළේ සිටිනවා. ලොව විශාලතම බහුපාර්ශ්වික නියෝජිතායතනය වන්නේ ද මෙයයි.
ඉන්ටර්නැෂනල් සෝලර් අලයන්ස් සන්ධානයේ වාර්ෂික සමුළුව කොළඹදී පැවැත්වුණා. ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්?
අපගේ කටයුතු ගෝලීය වශයෙන් බෙදී යන්නේ ආසියාව සහ ආසියා පැසිෆික් කලාපය, අප්‍රිකාව, යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය, ලතින් ඇමෙරිකාව සහ කැරිබියාව ආදී වශයෙන්. මේ මොහොතේ ආසියා පැසිෆික් කලාපයේ උප සභාපති ධුරය හොබවන්නේ ශ්‍රී ලංකාවයි. ඉන්ටර්නැෂනල් සෝලර් අලයන්ස් සන්ධානය වසරකට වතාවක් සමුළුවක් පවත්වනවා. සාමාජික රටවල සියලුම බලශක්ති අමාත්‍යවරුන්ට ඒ සඳහා ඇරැයුම් ලැබෙනවා. ආසියා පැසිෆික් කලාපයේ සමුළුවට ආරාධනා ලැබුණේ ආසියා පැසිෆික් කලාපීය රටවල බලශක්ති අමාත්‍යවරුන්ටයි. මෙවර එම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ මෙම සමුළුව පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි. මම සහ මගේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණියේ එම සමුළුව වෙනුවෙන්. ඒ වගේමයි කියන්න ඕනෑ මම ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව ද මෙයයි. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය දැක ගන්න, ප්‍රණීත ආහාර රස බලන්න, ආගන්තුක සත්කාර විඳ ගන්න මට අවස්ථාව ලැබීම ඇත්තටම මට ලොකු ගෞරවයක්. මෙම සමුළුව ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වුණා. ඊට හේතුව ශ්‍රී ලංකාවට නායකත්වයක් දෙන්න මෙය හොඳ අවස්ථාවක් වුණා. රටවල් 13 ක බලශක්ති අමාත්‍යවරුන් සමුළුවට සහභාගී වුණා. රටවල් 180 නියෝජිතයන් සහභාගී වුණා. සමුළුවේ මුලසුන හෙබවූයේ ශ්‍රී ලංකාව; බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහත්මයා. සමුළුව සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය නොඅඩුව ලැබුණා. හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය සමාරම්භක අවස්ථාවට සහභාගී වීම අපට ගෞරවයක්. අපට උපරිම සහාය ලැබුණා. ශ්‍රී ලංකා රජයේ පරිසර ඇමැතිවරයා, මුදල් ඇමැතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට මට අවස්ථාව ලැබුණා. මා රටවල් 25ක් සමඟ වැඩ කරලා තියෙනවා. මට විශ්වාසයි, ශ්‍රී ලංකාවට සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න පුළුවන්. පෞද්ගලික අංශයේ දායකත්වය අවශ්‍යයි. ඒ සඳහා පැහැදිලි ප්‍රතිපත්තියක් සහ නියාමනයක් අවශ්‍යයි.
සූර්ය බලශක්ති ක්ෂේත්‍රය සහ සූර්ය බලශක්ති වෙළෙඳපොළ ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි.
පරිසර හිතකාමී බලශක්ති සඳහා ඩොලර් ට්‍රිලියන 2.2කට ආසන්න මුදලක් ලොව පුරා ආයෝජනය කර තිබෙනවා. මෙය ෆොසිල ඉන්ධන සඳහා වන ආයෝජනයට වඩා වැඩි වූ පළමු අවස්ථාව මෙයයි. මහා පරිමාණ සූර්ය සහ පුනර්ජනනීය බලශක්තිය අවශෝෂණය කර ගැනීම සඳහා, සම්ප්‍රේෂණ ආයෝජන ඇතුළු තවත් බොහෝ දේ ක්‍රියාත්මක විය යුතුයි. අන්තර් සම්බන්ධතා මේ සඳහා ඇතිකරගත යුතුයි. ඉන්දියාව ලෝකයේ තෙවැනි විශාලතම සූර්ය බලශක්ති වෙළෙඳපොළයි. මා විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවට එම ආදර්ශය ගත හැකියි. සූර්යබලශක්තියේ අනාගතය ගැන කතා කරද්දී දේශගුණික විපර්යාස නිසා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ අනාගතය අවිනිශ්චිතයි කියා සමහර අය තර්ක කරනවා. ඒත් පසුගිය වසරේ සිදුවූ දේ ඉතා වැදගත්. ලෝකයේ පිරිසිදු බලශක්තිය සඳහා ඩොලර් ට්‍රිලියන 2.2ක් ආයෝජනය කර තිබෙනවා. ෆොසිල ඉන්ධන සඳහා ආයෝජනය කළ ප්‍රමාණයට වඩා වැඩි වූ පළමු අවස්ථාව මෙයයි. පසුගිය වසර 10 තුළ සූර්ය බලශක්තියේ මිල සියයට 70 කින් අඩු වෙලා. බොහෝ රටවල් සූර්‍ය බලශක්තිය සඳහා තරඟකාරී ලංසු තබන විට, නව ගල් අඟුරු හෝ ගෑස් බලාගාරවලට වඩා සූර්ය බලශක්තියේ මිල සැලකිය යුතු ලෙස අඩු බව සොයාගෙන තිබෙනවා. ඒ නිසා, කර්මාන්ත වඩාත් තරඟකාරී කරවීම, අඩු තීරුබදු සහ නිවෙස්වලට අඩු බිල්පත් ලබා දීම තමයි ලෝකයේ සූර්ය බලශක්තිය මෙහෙයවන්නේ. සූර්ය බලශක්තියට කළ හැකි දේට සීමාවක් තිබෙනවාද කියන ප්‍රශ්නයට, බැටරි පිරිවැයත් සැලකිය යුතු ලෙස අඩු වෙමින් පවතිනවා. රටවල් පොම්ප කළ ජල විදුලිය ඇතුළු බලශක්ති ගබඩා කිරීම පිළිබඳව ද සමස්තයක් ලෙස අවධානය යොමු කරමින් සිටිනවා. ඩොලර් ට්‍රිලියන 2ක ආයෝජන විභවයක් තිබෙන මේ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ ඇති හැකියාව ඉතා විශාලයි. ශ්‍රී ලංකාවට සූර්‍ය, ජල සහ සුළං බලශක්තියේ එකතුවකින් අතිවිශාල විභවයක් තිබෙනවා. මෙම සංකලනයෙන් නිවෙස්වලට බලශක්ති පිරිවැය අඩු කර ගත හැකි අතර, ශ්‍රී ලංකාවේ කර්මාන්ත වඩාත් තරඟකාරී කළ හැකියි. ඊට අමතරව, ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ මුහුද යටින් විදුලි බලය ගෙන යා හැකි සම්බන්ධතාවක් ගැන සොයා බලනවා. එමගින් ඉන්දියාව වැනි විශාල වෙළෙඳපොළකින් බලශක්තිය සවස් කාලයේ අවශ්‍යතා සහ අනෙකුත් අවශ්‍යතා සඳහා ලබා ගත හැකි බවට සහතික වනු ඇත. අප ශ්‍රී ලංකාව සමඟ රාජ්‍ය හවුල්කාරිත්ව රාමුවක් සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වෙනවා. සූර්‍ය බලශක්තිය, බැටරි සහ විදුලි සංචලනය සඳහා ඉතාමත් ඒකාබද්ධ උපාය මාර්ගයක් සඳහා වසර තුන සිට පහ දක්වා කාලයක් අප අවධානය යොමු කර තියෙනවා. හරිත හයිඩ්‍රජන් සහ ගබඩා කිරීම වැනි නව තාක්ෂණයන් ගැන ද අප සලකා බලනවා.
ඉන්දියාව කොහොමද සූර්ය බලයෙන් වැඩ ගන්නේ?
ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම සූර්ය බලශක්ති වෙළෙඳපොළයි. වසර 10ක් තුළ එය කිලෝවොට් බිංදුවේ සිට ගිගාවොට් 110ක් දක්වා වර්ධනය වී තිබෙනවා. සම්ප්‍රේෂණය ඇතුළුව මෙය ඩොලර් බිලියන 150ක ආයෝජනයක්. ශ්‍රී ලංකාවට මෙය ආදර්ශයට ගත හැකියි. සූර්ය බලශක්තිය විචල්‍ය පුනර්ජනනීය බලශක්තියක් බැවින්, ඉන්දියා-ශ්‍රී ලංකා අන්තර් සම්බන්ධතාව කඩිනම් කළ යුතුයි. එවිට ශ්‍රී ලංකාවට ඉන්දියානු වෙළෙඳපොළට පිවිසීමේ හැකියාව ලැබේවි. ඒ වාගේම ශ්‍රී ලංකාවේ බලශක්ති ආරක්ෂාවද සහතික වේවි. කෘෂිකර්මාන්තය සහ රැකියා ගැන අප සාකච්ඡා කළ පරිදි, ඉන්දියාවෙන් ගුණාත්මක සූර්‍ය බලශක්ති සැපයුම් සහ බැටරි ලබා දීමේ අත්දැකීම් ශ්‍රී ලංකාවේ රැකියා උත්පාදනය කිරීමට සහ ගොවීන්ගේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමට උපකාරී වේවි. අද ඉන්දියාවේ කුඩා නගරවලට ගියහොත්, බොහෝ දෙනෙකුට විදුලි ත්‍රී රෝද රථ සහ විදුලි යතුරුපැදි තිබෙනවා. ඒවා මිලෙන් අඩු වන අතර නාගරික සංචලනයට වඩා හොඳ ක්‍රමවේදයන්. ශ්‍රී ලංකාවටත් එම අත්දැකීම ලබා ගත හැකියි. සමුළුවේදී සාකච්ඡා කළ ආකාරයට, ඉන්දු ශ්‍රී ලංකා හවුල්කාරීත්වය යටතේ, ශ්‍රී ලංකාවට පුද්ගලික අංශයේ ආයෝජන විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට උපකාර වන ප්‍රතිපත්ති සහ රෙගුලාසි මොනවාදැයි සොයා බැලීමට සිදුවෙනවා.
සූර්ය බලශක්තියට යොමුවීමෙන් ශ්‍රී ලංකාවට ඇති වාසිය කුමක්ද?
ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම තව වසර දහයක් හෝ විස්සක් යද්දී වැඩි වෙනවා. ශ්‍රී ලංකාව කළ යුතු වන්නේ දැන් සිට ම ගෑස් හෝ ගල් අඟුරු වැනි ඉන්ධන ආනයනය මත ඇති යැපීම අඩු කිරීමයි. අසල්වැසි වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වීම වඩා හොඳයි යැයි මා සිතනවා. එමගින් පිරිවැය අඩු වේවි. ඉතා විශාල වෙළෙඳපොළකින් ස්ථීර බලශක්ති සැපයුමක් ලබා ගැනීම ආර්ථික වශයෙන් තර්කානුකූලයි. ඊළඟ පියවර වන්නේ අවසන් ව්‍යාපෘති ඇස්තමේන්තුව, මූල්‍ය සැලැස්ම සහ මෙය ඉදිකිරීමෙන් පසු කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ආයතනික රාමුවකට එකඟ වීමයි. වසර පුරා ම හොඳ හිරු එළියක් ලැබෙනවා නම්, එයින් අදහස් කරන්නේ බොහෝ රටවල් හා සසඳන විට බලශක්තිය භාවිතා කිරීමේ හැකියාව ඉතා ඉහළ බවයි. සමකය අසල ඇති සියලුම රටවලට සූර්යයාගෙන් විශාල බලශක්ති ප්‍රමාණයක් ජනනය කිරීමේ වැඩි හැකියාවක් තිබෙනවා. සමහර විට ලෝකයේ බොහෝ බලශක්ති අවශ්‍යතා සපුරාලීමට දින දෙකක හිරු එළිය ප්‍රමාණවත්. ඒ ආකාරයෙන් අපට සම්පූර්ණ බලශක්තිය දින දෙකක හිරු එළියෙන් ලබා ගත හැකි නම් සූර්ය බලශක්තියේ ප්‍රබලත්වය එයින්ම පෙනී යනවා.