ශ්‍රී ලංකාව ණය සම්බන්ධයෙන් සාකච්ඡා



ශ්‍රී ලංකාව ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැරිස් සමාජයේ (Paris Club) ණය හිමි රටවල් පසුගිය මාසයේ දී ඉන්දියාව සහ චීනය සමඟ සාකච්ඡා පවත්වා ඇත.

ශ්‍රී ලංකාව ණය සම්බන්ධයෙන් මෙම රටවල් දෙක සමඟ සම්බන්ධීකරණය කිරීමේ අරමුණින් මෙලෙස පැරිස් සමාජය ඉන්දියාව සහ චීනය සමඟ සාකච්ඡා පවත්වා තිබෙන අතර කෙසේ නමුත් ඔවුන්ගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය බ්‍රහස්පතින්දා වාර්තා කළේ ය.

මීට ඍජුව ම සම්බන්ධ මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය මේ බව වාර්තා කර තිබිණි.

ඉන්දියාව සහ චීනය යනු ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශවීය ණය හිමියන් වේ.

ශ්‍රී ලංකාව ඉකුත් සැප්තැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණියේ ය. අදාළ වැඩසටහන අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් අපේක්ෂාවෙන් සිටියි.

පෞද්ගලික මට්ටමින් මෙම සාකච්ඡා පවත්වා තිබෙන අතර මේ නිසා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුද්ගලයා සිය නම සඳහන් නොකරන්නැයි ඉල්ලීමක් කළ බව ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

මෙම සාකච්ඡාවලින් අනතුරුව ඉන්දියාවෙන් සහ චීනයෙන් මෙතෙක් පැරිස් සමාජයට ප්‍රතිචාරයක් ලැබී නැති බව ද හෙතෙම කීවේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සාකච්ඡාවලට සමගාමීව පැරිස් සමාජයේ නිලධාරීන් ඉන්දීය නිලධාරීන් හමු වී සාකච්ඡා පවත්වා ඇත.

චීන නිලධාරීන් වාර්ෂික සාකච්ඡාවලට සහභාගී නැති බව ද රොයිටර්ස් වාර්තා වේ දැක්විණි.

ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මේ වනවිට මුහුණ දෙමින් සිටින අතර එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකකට වඩා වැඩි පිරිසක් ආහාර හිඟයකට මුහුණ දී ඇත. 

(රොයිටර්)


RECOMMEND POSTS