විදුලි සංදේශ කොමිෂන් සභාවේ තීරණයට ඩයලොග් සමාගමේ පැසැසුම්



Number Portability (NP) ගැන ඔබ දන්නවාද ? දුරකතන භාවිත කරන අප සදැමට මෙය වැදගත් වෙයි.

Number Portability (NP) පහසුකම යටතේ පාරිභෝගිකයෙකුට තමා භාවිතා කරන ජංගම හෝ ස්ථාවර දුරකතන අංකය වෙනස් නොකර එම අංකය හරහා, වෙනත් දුරකතන සේවා සම්පාදකයෙකුගෙන් සේවාව ලබාගැනීමට හැකියාව හැකිවෙයි. මෙය මේ වනවිටත් රටවල රැසක දුරකතන පාරිභෝගිකයන්ට හිමිවී ඇති පහසුකමකි. එපමණක් නොව, දිනෙන් දින නව්‍යකරණය වූ විදුලි සංදේශ වෙළඳපොළක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයකි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Number Portability (NP) පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා නිවේදනයක් නිකුත් කළේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට එම අවස්ථාව ලබා දිය යුතු බව පවසමිනි. 

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, විදුලි සංදේශ ක්ෂේත්‍රයේ පාරිභෝගිකයාගේ තෝරාගැනීමේ නිදහස ඉහළ නැංවීමට සමත්වන ජාත්‍යන්තරව පිළිගත් ක්‍රියාමාර්ග සහිත සැලැස්ම ක්‍රියාවට නැංවීමට ගත් තීරණය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) පැසැසුමට ලක් වී තිබේ.

Number Portability (NP) පහසුකම ඇතුළුව පාරිභෝගිකයාගේ තෝරාගැනීමේ නිදහසට බාධාවක්ව පවතින කරුණු මගහරවාගැනීම සඳහා සැලැස්මක් සකස් කිරීමට මූලිකත්වය ගතයුතු බවට ඩයලොග් සමාගම මුලින්ම යෝජනා කරනු ලැබුවේ අද ඊයේ නොව 2008 වසරේ ජූලි මාසයේදීය.

පාරිභෝගිකයාගේ තෝරාගැනීමේ නිදහසට වැඩි අවස්ථාවක් ලබාදීම තුළින් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට හේතුවන බවත්, ඉන් ලැබෙන ප්‍රතිලාභ සමස්තයක් ලෙස සියලුම සේවා සම්පාදකයන්ට සහ පාරිභෝගිකයන්ට හිමිවන බවත් ඩයලොග් සමාගම දැඩිව විශ්වාස කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, “ අපගේ සන්නාමය හා සේවාවන් පිළිබඳව මිලියන 15 කට අධික ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය පිළිබඳව අපට ඇත්තේ මහත් ගෞරවයක්. අපගේ පාරිභෝගිකයන්ගේ තෝරාගැනීමේ නිදහස අනුව කටයුතු නොකළා නම්, අප සමාගමට මෙතරම් සාර්ථකත්වයක් සහ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගැනීමට අප සමත් වන්නේ නැහැ. විවෘත වෙළඳපොළ සහ පාරිභෝගිකයන්ගේ තෝරාගැනීමේ නිදහස යන කරුණු ද්විත්වය අපගේ සාර්ථකත්වයට මුල්වී තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් අපට ඇත්තේ මහත් අභිමානයක්. නවීනතම තාක්ෂණය හරහා අනගි පහසුකම් රැසකට ඉඩ සැලසෙනවා පමණක් නොව, ඒ තුළින් වඩා හොඳම දේ තෝරාගැනීමට පාරිභෝගිකයාට නිදහස හිමිවෙයි.”

ඩයලොග් සමාගම ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ වෙළඳපොළට පිවිසියේ ජංගම දුරකතන ක්ෂේත්‍රයේ සිව්වැනියා ලෙසයි. 2000 වසරේදී ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් විසින් ඩයලොග් සමාගම ජංගම දුරකතන වෙළඳපොළ තුළ ඉහළම ස්ථානයට ඔසවනු ලැබූ අතර, එතැන් සිට ජංගම දුරකතන සම්බන්ධතාවන්ගෙන් නොනැවතී ස්ථාවර දුරකතන සම්බන්ධතා, අධිවේගී Broadband සහ Television සේවාවන් සපයමින් ශ්‍රී ලංකාවේ සියලුම සන්නිවේදන අංශ ආවරණය කරන ප්‍රමුඛතම සම්බන්ධතා සම්පාදකයා බවට පත්වන්නට ඩයලොග් සමාගම සමත් විය. සුප්‍රකට ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් විසින් අඛණ්ඩව වසර 9 ක් අංක 1 කේ විදුලි සංදේශ සහ අන්තර්ජාල සේවා සම්පාදකයා ලෙස ඩයලොග් සමාගම අභිෂේක ගන්වා ඇත.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රය ලොව නවතම තාක්ෂණයෙන් සහ උසස් ප්‍රමිතියේ පහසුකම්වලින් බලගන්වා ඇති අතර, සාධාරණ මිල ප්‍රමිතියෙන් සහ විශිෂ්ට සේවාවන්ගෙන් යුතු බවට ජාත්‍යන්තරය තුළ මනා පිළිගැනීමක් තිබුණද, විවිධ තරගකාරී සන්නිවේදන ජාල අතර ජංගම සහ ස්ථාවර දුරකතන සඳහා Number Portability පහසුකම භාවිත කිරීමේ හැකියාව තවමත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත.

 “ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අපගේ ක්ෂේත්‍රය නව්‍යකරණයට ලක් කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අතිශයින් සතුටු වන අතර, ශ්‍රී ලංකාව තුළ Number Portability සේවාව ක්‍රියාත්මක කිරීමට මූලික පියවර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අපගේ ශුභාශිංසන පළකර සිටිනවා. පාරිභෝගිකයාගේ තෝරාගැනීමේ නිදහස  තහවුරු කිරීම සඳහා පිටිවහලක්  සපයන අනෙකුත් සේවාවන් සඳහා මෙවන් ප්‍රතිපත්ති  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ගනු ඇතැයි ඩයලොග් සමාගම සුබවාදීව අපේක්ෂා කරනවා.” යනුවෙන් සුපුන් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ඩයලොග් සමාගම සහ එහි ප්‍රධාන කොටස් හිමියා වන ආසිආටා බර්හාඩ් සමූහය ශ්‍රී ලංකාවේ විශාලතම විදේශීය සෘජු ආයෝජකයා වන අතර, මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක ආයෝජනයක් ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ‍යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොදවා තිබේ.


RECOMMEND POSTS