ලෝක බැංකුවෙන් ණයක් ඉල්ලයි



කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ආනයනික කෘෂි රසායනික සහ බීජ ගෙන්වීමට ආණ්ඩුව ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක ණයක් ඉල්ලා ඇත.

මහ කන්නයේ සිදු වූ පසු බෑම වළක්වා ගනිමින් කෘෂි කර්මාන්තය නගා සිටුවීම සඳහා ලෝක බැංකුවෙන් මෙම ණය මුදල ඉල්ලා ඇත.

දැනට ගෙවෙමින් තිබෙන යල කන්නයට සහ වසරක කාලයක් ඇතුළත තිබෙන ඉදිරි කන්න සඳහා භාවිත කිරීමේ අරමුණින් අදාළ ණය මුදල ඉල්ලා ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.එල්. බණ්ඩාරනායක මහතා පැවැසීය.

වී, තේ, එළවළු, සහ ඉරිඟු ඇතුළු ප්‍රධාන භෝග වගාව සඳහා මෙම සහාය ඉල්ලා ඇතැයි ද හෙතෙම කීය.

යූරියා ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් ලැබෙන ණය මාර්ගයෙන්/පහසුකමෙන් කොටසක් භාවිත කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව ද මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවැසීය.

ණය මාර්ගයෙන්/ණය පහසුකමෙන් ඉතිරි කරගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් ඒ සඳහා භාවිත කිරීමට සූදානම් වන බව ද හෙතෙම කීය.

රසායනික පොහොර ආනයන කිරීම තහනම් කිරීමට ආණ්ඩුව ඉකුත් වසරේ දී පියවර ගත්තේ ය.

ඉකුත් වසරේ මැයි මාසයේ සිට අදාළ තහනම ක්‍රියාත්මක විය.

රසායනික පොහොර සැපයුවද කාබනික පොහොර භාවිත කිරීමේ ප්‍රතිපත්තිය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද බණ්ඩාරනායක මහතා පැවැසීය.

පොහොර සහනාධාරය නැවත ලබාදෙන බව ඉකුත් සතියේ දී ජාතිය ඇමතූ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

දමිත් වික්‍රමසේකර
සන්ඩේ ටයිම්ස්

RECOMMEND POSTS