ලෙබනනයට සහාය වෙනවා: ලෝක බැංකුව



බේරූට් නුවර සිදුවුණු විනාශය තක්සේරු කිරීමෙන් පසු ලෙබනනයට මූල්‍යමය සහාය ලබා දීමට පියවර ගන්නා බව ලෝක බැංකුව පවසා තිබේ. ලෙබනන් රජය කියා සිටියේ මූලික වාර්තා අනුව, සිදුවුණු හානිය ඇමෙරිකන් ඩොලර් බිලියන 10 කට වඩා වැඩිවනු ඇති බවය.

පිපිරුමට හසුවීමෙන් මිගගිය ගණන 150 පසු කර ඇති බවත් එම ගණන තවත් ඉහළ යනු ඇති බවත් පැවැසෙයි. තුවාල ලැබූ ගණන 5,000 කට වැඩිය. ලක්ෂ 3 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී තිබේ. පිපිරුමට හසුවුණු රෝහල් 3 ක් මුළුමනින්ම බිමට සමතලා වී ඇති අතර, තවත් බේරූට් රෝහල් 2 කට දැඩි හානි සිදුවී ඇතැයි ද පැවැසෙයි.

බිමට සමතලා වුණු ගොඩනැගිලි සහ නිවාස සුන්බුන් අතරේ සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම් පැය 24 පුරා ක්‍රියාත්මකය. චෙක් ජනරජය, තුවාලකරුවන් සෙවීමට 37 දෙනකුගෙන් සමන්විත විශේෂ සහන සේවා කණ්ඩායමක් බේරූට් නුවරට යැව්වේ, ඉව අල්ලා තුවාල කරුවන් සොයන නිල සුනඛයන් ද සමඟය.

ලෙබනන් රජයට අවශ්‍ය පරිදි හැකි සෑම උදව්වක්ම ලබා දෙන බව ග්‍රීසිය පැවැසීය. රුසියාව ලෙබනනයට ආධාර යැව්වේ ගුවන් යානා පහකිනි. ජර්මනිය ද 47 දෙනකුගෙන් සමන්විත විශේෂ සහන සේවා කණ්ඩායමක් ලෙබනනයට යැවීමට පියවර ගත්තේය. ජර්මන් තානාපති කාර්යාලය බේරූට් නුවර පිහිටා ඇති අතර, පිපිරුමෙන් ඊට හානි සිදුවිය. ජර්මන් කාර්ය මණ්ඩල සාමාජිකයෝ බොහෝ දෙනෙක් තුවාල ලැබූහ.

ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය ජර්මනිය, ප්‍රංශය පමණක් නොව, ඉරානය, සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, මැලේසියාව, ඉරාකය ඇතුළු රටවල් ගණනාවක් ලෙබනනයේ සහායට ඉදිරිපත් විය. ලෙබනන් ජනතාව මේ මොහොතේ ශක්තිමත්ව සිටිය යුතුයි යැයි ඉරානය පැවැසීය. මහා බ්‍රිතාන්‍යය ඊයේ (6) කියා සිටියේ ලෙබනනයට පවුම් මිලියන5 මුදලක් ලබා දීමට තීරණය කළ බවය.

මීට අමතරව, ජෝර්දානය සහ ඊජිප්තුව බේරූට් නුවර විශේෂ රෝහල් කඳවුරු දෙකක් පිහිටුවා ඇත. ඒ, බේරූට් බලා ගිය ජෝර්දාන සහ ඊජිප්තු වෛද්‍ය කණ්ඩායම් මැදිහත් වෙමිනි. මේ වනවිට තුවාල ලැබූවන් බොහෝ දෙනෙක් එම කඳවුරුවල ප්‍රතිකාර ලබති.

බේරූට්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS