ලබන වසර සඳහා අයවැය නොවැම්බර් 17 වැනිදා



ලබන වසර (2021) සඳහා අයවැය නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා පැවැසීය.

‘කොවිඩ්-19’ වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය හැර අනෙක් අංශවල වර්ධනයක් දැකිය හැකි යැයි රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා කීය.

මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම කරුණු සඳහන් කළේය.

මේ වසරේ දී මෙරට ආර්ථික ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

ඉදිරි වසර කිහිපයේදී අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක අගයක් දක්වා ගෙන ඒමට පියවර ගන්නා බවත් ඒ ඔස්සේ ආර්ථික කටයුතු මෙහෙයවන බවත් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා කීය.

මේ වසරේ දී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9ක් වනු ඇතැයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා කීය.

නව කොරෝනා වයිරසය පාලනය කිරීමත් ඒ සමඟ ආර්ථික කටයුතු නැවත ආරම්භ වීමත් යන කරුණු හේතුවෙන් බදු ආදායම් ලැබෙමින් තිබෙන බව ද ආටිගල මහතා කීවේය.

රටම වසා දමා තිබූ අප්‍රේල් මාසයේදී මෙරට ආදායම් රුපියල් බිලියන 70ක් දක්වා අඩු වූ බවත් ඉකුත් අගෝස්තු මාසයේදී ආදායම් රුපියල් බිලියන 144ක් දක්වා වැඩි වී ඇති බවත් ආටිගල මහතා මෙහිදි පැවැසීය.

නව කොරෝනා වයිරසය සහ සහන සැලසීම් යනාදිය හේතුවෙන් මේ වසරේ දී අයවැය හිඟය ඉහළ ගියද ලබන වසරේ සිට 2025 දක්වා කාලයේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක අගයකට අඩු කරගැනීමට පියවර ගන්නා බව ද ආටිගල මහතා තවදුරටත් කීය. 

 හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS