රුපියලේ අගය 230 සීමාව ඉක්මවා යන්නේ නෑ



ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 230 සීමාව ඉක්මවා නොයනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විනිමය අනුපාතය වඩාත් නම්‍යශීලි කර ඇති බැවින් එය ඇමෙරිකානු ඩොලරයට රුපියල් 230 සීමාව ඉක්මවා නොයනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට සාපේක්ෂව රුපියල, 230ක අගයක් දක්වා අවප්‍රමාණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (7) රාත්‍රියේ පියවර ගත්තේ ය.

ඉකුත් වසරේ (2021) මැයි මාසයේ සිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 202 ක ස්ථාවර අගයක පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබිණි.

පසුගිය වසරේ (2021)  අප්‍රේල් මාසයේ දී මෙරට ඉතිහාසයේ වාර්තා වූ ඉහළ ම අවප්‍රමාණිත අගය වාර්තා කරමින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය රුපියල් 204 ඉක්මවා ගියේ ය.

බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑතකාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් එවැනි ආර්ථික තත්ත්වවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉකුත් 4 වැනිදා පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත් කරන ලදි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි විනිම අනුපාතිකයේ ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳපොළට ඉඩ හැරීම සඳහා විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමකට පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරමින් ඊට අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිපත්ති ගැලපීම් කරන බව ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.


RECOMMEND POSTS