මුදල් වංචා පැමිණිලිවල ඉහළ යෑමක්



මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල ඉහළ යෑමක් නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

වංචා සහගත ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුයේ මූල්‍ය බුද්ධි ඒකකය මේ බව කියයි.

විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබාදෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබාගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් වංචා සහගත දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ (ඊමේල්) සහ සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම හේතුවෙන් අගතියට පත් පාර්ශව කරන ලද පැමිණිවල වර්ධනයක් මෑතකාලීනව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එබැවින් නිසි පරීක්ෂාවකින් තොරව ඉහත ආකාරයේ තොරතුරු මත පදනම් ව නොදන්නා පාර්ශවවල බැංකු ගිණුම් යෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට අවධාරණය කරයි.

පෞද්ගලික හැඳුනුම් අංක, කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදාගන්නා ගෙවීම් කාඩ්පත් තහවුරු කිරීමේ අංක (CVV), ගනුදෙනු සහතික කිරීමේදී යොදාගන්නා එක්වරක් පමණක් භාවිත වන මුරපද (OTP) සහ ජංගම බැංකුකරණයේ දී හෝ අන්තර්ජාල බැංකුකරණයේ දී යොදාගන්නා පරිශීලක නාම (UserID), මුරපද (Password) හා එක්වරක් පමණක් භාවිත වන මුරපද (OTP) යනාදිය මෙවැනි අපරාධවල නිරත වන වංචාකරුවන් ඉල්ලා සිටිය හැකි බව ද මහ බැංකුව සඳහන් කරයි.

එබැවින් මෙම රහස්‍ය තොරතුරු කිසිදු තෙවන පාර්ශවයක් සමඟ හුවමාරු කර නොගත යුතු බවත්, එවැනි වංචා පිළිබඳ ව සුපරික්ෂාකාරී වන ලෙසටත් මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට අවධාරණය කරයි. එසේම මෙවැනි විස්තර සැපයීමෙන් ඔබ/ඔබගේ පවුලේ සාමාජිකයකු ඔබේ සමීපතමයකු නිසැකයෙන් ම මූල්‍ය වංචාවක වින්දිතයකු බවට පත්වනු ඇතැයි ද මහ බැංකුව කියයි.

මේ ආකාරයේ දුරකතන ඇමතුම් හෝ කෙටි පණිවුඩ ඔබට ලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් 011-2477125 හෝ 011 2 477 509 හරහා මූල්‍ය බුද්ධි ඒකකය දැනුවත් කරන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.


RECOMMEND POSTS