මුදල් ප්‍රතිපත්තිය නොවෙනස්ව ඉදිරියට



ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්තිය නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

ඒ අනුව බැංකු පොලී අනුපාත දැනට පවතින මට්ටමේ පවතිනු ඇත.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තෙවැනි රුල්ල හේතුවෙන් ඇති කළ නව ආර්ථික අභියෝග මධ්‍යයේ ආර්ථිකය තිරසර ලෙස යථා තත්ත්වයට පත්වීම සහාය දීමක් ලෙස දැනට පවතින ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වාගෙන යෑමට මුදල් මණ්ඩලය කැප වී සිටින බව ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මේ වසරේ සිවුවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව නිවේදනය කෙරැණි. විඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19) රැස් වූ අතර එහිදි මෙම තීරණය ගෙන තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 4.50ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 5.50ක් ලෙසත් දැනට පවතින මට්ටමේ ම පවතිනු ඇත.

ඊට අමතරව බැංකු අනුපාතිකය සියයට 8.50 ක අගයකත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය සියයට 2ක අගයකත් පවත්වාගෙන යෑමට තීරණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ ජනවාරි මාසයේ දී සිය පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කළ අතර බැංකු පොලීවල කිසිදු වෙනසක් නොකරන බව එහිදී ද නිවේදනය කළේය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ අවස්ථා පහකට ආසන්න සංඛ්‍යාවකදී බැංකු පොලී අඩු කළ අතර වසර මුළුල්ලේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අනුගමනය කළේය.


RECOMMEND POSTS