මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ යුතුයි



වත්මන් ණය අර්බුදයට පිළිතුරු සෙවීම සඳහා ශ්‍රී ලංකාව මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ යුතු බවත්, බදු ඉහළ නැංවිය යුතු බවත් සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් පවත්වාගෙන යා යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත වේගයෙන් කඩා වැටීමටත් ඉහළ උද්ධමනයත් නිසා ශ්‍රී ලංකාව මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියි.

විදේශ සංචිත නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති අතර අත්‍යවශ්‍ය ආනයන ගෙන්වා ගැනීමට ද නොහැකි වී ඇත.

“ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ අප ඉතා හොඳ ඵලදායී තාක්ෂණික සම්බන්ධතා පැවැත්වූවා. ඉකුත් සති අන්තියේදීත් ඊට දින කිහිපයකටත් පෙර මෙම සාකච්ඡා පැවැත්වුණා” යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ඇන් මේරී ගුල්ඩ වුල්ෆ් විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.

ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහන ඉල්ලා ඇත.

“ණය දීමට ශ්‍රී ලංකාව ණය තිරසර බව අත්පත් කරගත යුතු යි. එහි ප්‍රගතියක් අත්පත් කරගැනීම සඳහා කටුයතු කළ යුතුයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව බදු ආදායම් වැඩි කළ යුතු යි. අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා එසේ කළ යුතු යි.

උද්ධමනය පාලනයට මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ යුතු යි. ඒ වගේම නම්‍යශීලී විනිමය අනුපාතිකයක් පවත්වාගෙන යා යුතු” යැයි ද ඇය වැඩිදුරටත් කීවා ය.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS