මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත්



බැංකු පොලී අනුපාතික ඉහළ දමමින් සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

උද්ධමනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ යෑම, ඉදිරි කාලයේ දී අඛණ්ඩව ඉහළ උද්ධමනයක් පැවැතීම සහ අහිතකර උද්ධමන අපේක්ෂා ගොඩ නැගීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ජූනි මස 6 වැනිදා රැස් වී මෙම තීරණය ගත් අතර ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව නිවේදනය කළේ ය.

මෙම නව පියවර අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය පදනම් අංක 100කින් සියයට 14.50ක් දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100කින් සියයට 15.50 දක්වාත් ඉහළ දැමේ.

ඊට අමතරව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 4ක් දක්වා ඉහළ නැංවේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ මේ වසරේ 5 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව මේ වසරේ ජූනි මාසය අවසන් වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇත. ඊට චීන මහජන බැංකුවෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5කට ආසන්න විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් වන ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ජූලි මස 1 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 44.3කින් අවප්‍රමාණය වී ඇත.


RECOMMEND POSTS