බෙල්ජියමේ ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය



බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව, 2021 ඔක්තෝබර් 27 දින සිට 28 දින දක්වා බෙල්ජියමේ කෝට්රේ නගරයේ දී 8 වැනි වරටත් පැවැත්වුණු 'ඉන්ට්‍රාෆුඩ්' වෙළෙඳ ප්‍රදර්ශනයේ දී සිලෝන් තේ, ශ්‍රී ලාංකීය කුළුබඩු සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කරන ලදී.

නව්‍ය හෝ වැඩිදියුණු කළ නිෂ්පාදන සංවර්ධනය කිරීමේ පරමාර්ථයෙන්, අමුද්‍රව්‍ය සහ නව ප්‍රවණතාවන් පිළිබඳ සියලු ම තොරතුරු සෙවීම සඳහා, පර්යේෂණ සහ සංවර්ධන, නිෂ්පාදන සංවර්ධනය, භාණ්ඩ නිෂ්පාදනය, මිලදී ගැනුම් සහ තත්ත්ව පරීක්ෂණ අංශවල සිටින ආහාර කර්මාන්ත කළමනාකරුවන් සහ අමුද්‍රව්‍ය, නිෂ්පාදන ද්‍රව්‍ය, ආකලන, පරිභෝජන ද්‍රව්‍ය සහ අර්ධ වශයෙන් සකසන ලද නිෂ්පාදන සැපයුම්කරුවන් සහ නිෂ්පාදකයින් සමඟ සම්බන්ධ කළ මෙම දෙදින ද්විවාර්ෂික වෙළඳ ප්‍රදර්ශනය, බෙනෙලක්ස් රටවල් (බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සම්බර්ග්) සහ උතුරු ප්‍රංශ කලාපය සඳහා පැවැත්වුණු වෘත්තීමය වෙළඳ ප්‍රදර්ශනයක් විය.

මෙම ඉන්ට්‍රාෆුඩ් ප්‍රර්ශනය, බෙනෙලක්ස් රටවල් සහ උතුරු ප්‍රංශ කලාපයේ ආහාර ද්‍රව්‍ය කර්මාන්තය සඳහා වන අංක එකේ රැස්වීම් ස්ථානය ලෙස ස්ථාපනය වී ඇත.

ශ්‍රී ලාංකීය අපනයනකරුවෙකු වන විචී කොකනට් සමාගම, පොල් කිරි, පොල් සිරප්, ක්‍රීම් කළ පොල් වැනි නිර්මාංශ සහ කිරි ආදේශක ඇතුළුව පූර්ණ සහ අර්ධ වශයෙන් සැකසූ ස්වභාවික පොල් නිෂ්පාදන මෙන් ම නරඹන්නන් බොහෝ දෙනෙකුගේ විමසීම් දිනාගත් සිලෝන් තේ සහ කුළුබඩු නිෂ්පාදන රාශියක් ඉදිරිපත් කරමින් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි විය. ව්‍යාපාරික සබඳතා ඇති කර ගැනීම සඳහා කර්මාන්ත කළමනාකරුවන් සහ විචී සමාගමේ නියෝජිතයන් අතර අතථ්‍ය අන්තර්ක්‍රියා සඳහා ද තානාපති කාර්යාලය පහසුකම් සලසා දී ඇත.

මෙම දෙදින උත්සවය අතරතුර දී ප්‍රදර්ශන සංවිධායකයින් විසින්, තිරසාර කෘෂිකාර්මික අමුද්‍රව්‍ය මිලදී ගැනීම සහ සහතික කිරීම, ආහාර කර්මාන්තයේ වත්මන් ප්‍රවණතා මෙන්ම කර්මාන්ත ප්‍රමුඛයින්ගේ නව නිෂ්පාදන සහ ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු කාලීන මාතෘකා ආවරණය වන පරිදි සම්මන්ත්‍රණ ගණනාවක් පවත්වනු ලැබීය.

මෙම ඉන්ට්‍රාෆුඩ් වෙළෙඳ ප්‍රදර්ශනය, ප්‍රදර්ශකයින් 120 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ආහාර කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් 1500කගේ පමණ ආකර්ෂණය දිනාගත් කර්මාන්ත ප්‍රවීණයින් සඳහා පමණක් පැවැත්වුණු ප්‍රදර්ශනයකි. 2018 වසරෙන් පසු ඉන්ට්‍රාෆුඩ් වෙළඳ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන අවස්ථාව මෙයයි. මෙම වෙළඳ ප්‍රදර්ශනයේ මීළඟ අදියර 2023 වසරේ දී පැවැත්වීමට නියමිතය.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS