බැංකු පොලීවල වෙනසක් නැහැ



ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

මේ අනුව දැනට තිබෙන බැංකු පොලී අනුපාත එම අගයවල ම පවත්වාගෙන යෑමට ඊයේ (21) රැස් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ වසරේ අවස්ථා පහකදී බැංකු පොලී අනුපාත අඩු කර ඇත.

බැංකු පොලී අඩු කිරීම තුළින් වාණිජ බැංකු අතර කෙරෙන ගනුදෙනුවලට අදාළ පොලී අනුපාත පහළ වැටෙන බවත් එම නිසා අඩු පොලියට ණය නිකුත් කිරීමට වාණිජ බැංකුවලට අවස්ථාව සැලසෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ වසරේ මේ දක්වා කාලයේදී පෙර නොවූ විරූ අයුරින් ක්‍රියාත්මක කරන ලද ලිහිල් මුදල් ප්‍රතිපත්තිය හේතුවෙන් සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ ගොස් ඇතැයි ද ඉදිරියේදී ද පොලී අනුපාත පහළ යනු ඇතැයි ද මහ බැංකුව නිවේදනයක් ද නිකුත් කරමින් සඳහන් කරයි.

ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑම හේතුවෙන් දැනට පවත්නා අඩු උද්ධමන තත්ත්වය තුළ ද ආර්ථිකයේ පලදායී අංශ වෙත අඩු පොලී යටතේ ණය ලබාදීමට හැකියාව ලැබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 4.50, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 5.50, බැංකු අනුපාතිකය සියයට 8.50 ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය සියයට 2.00 යන දැනට පවතින අගයවල ම පවතිනු ඇත.

 හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS