බැංකු පොලී අනුපාතික දැඩි කිරීමට පියවර



බැංකු පොලී අනුපාතික තවදුරටත් දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මේ වසර සඳහා වන දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව එම තීරණය නිවේදනය කළේ ය.

මේ අනුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු අනුපාතිකය පදනම් අංක 100කින් සියයට 6.50ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100කින් සියයට 7.50ක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මාර්තු මස 3 වැනිදා රැස් වූ අතර එහි දි මෙම තීරණ ගෙන තිබේ.

ගෝලීය වශයෙන්ම මෙන්ම දේශීය වශයෙන් ද පවතින සහ ඉදිරියේ දී ඇති විය හැකි යැයි අපේක්ෂිත ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර යි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් ජනවාරි මාසයේ දී ද ස්ථාවරය දැඩි කළ අතර ඒ ස්ථාවරය තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන ඇත.

මෙම ණය පියවර අනුව පොලි අනුපාතික මත පනවා ඇති සීමා ඉහළ නැංවීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

මේ අනුව ණය කාඩ්පත් (ක්‍රෙඩිට් කාඩ්) මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 20 දක්වාත් , පෙර ගිවිසගෙන ඇති බැංකු අයිරා මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 18 දක්වාත් උකස් පහසුකම් මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 12 දක්වාත් වැඩි කිරීමට පියවර ගෙන ඇත.

මෙම පොලී අනුපාතික ක්‍රියාත්මක කිරීම සඳහා වන නියෝග කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මේ අතර බැංකු අනුපාතිකය (නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සමඟ ස්වයංක්‍රීයව ගලපන ලද) පොලී අනුපාතිකය සියයට 10.50ක් දක්වාත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 4ක් දක්වා වැඩි කිරීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.


RECOMMEND POSTS