ප්‍රශස්තකරණ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහාය



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ (Marc-André Franche) මහතා  අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනයට වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය. 

ශ්‍රී ලංකාවේ මූල්‍ය අභියෝග ජය ගැනීමට සහ තිරසාර සංවර්ධනයක් අත්කරගැනීම සඳහා ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා දෙන බව  මාර්ක් අන්ඩ්‍රේ මහතා සඳහන් කළේය.

එසේම උතුරු නැගෙනහිර සංවර්ධනය සහ ප්‍රතිසන්ධාන සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

උතුර හා නැගෙනහිර ජනතාවගේ දිගුකාලීන ගැටළු විසඳීම මෙන්ම ජාතීන් අතර සාමය සහ සහජීවනය ඇති කිරීම යෝජිත වැඩපිළිවෙළේ අරමුණ බවත්, ඒ සඳහා ඉදිරියේදී රටේ ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට රජය කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ නව ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමීපව කටයුතු කිරීමට ද මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාවට එළැඹිණි. 


RECOMMEND POSTS