නිෂාන් සිල්වාට ඇකෝර් සමූහයේ ඉහළ පුටුවක්



මැදපෙරදිග කලාපයේ ඩුබායි හා උතුරු එමිරේට්ස් ඇකෝර් හෝටල සමූහයට සම්බන්ධ වී කටයුතු කරන නිෂාන් සිල්වා මහතාට එම හෝටල සමූහයේ කලාපීය සාමාන්‍යාධිකාරී ධුරයට උසස් වීමක් හිමිවිය. ඒ අනුව නිෂාන් සිල්වාමහතා ඇකෝර් හෝටල සමූහයට අයත් මැදපෙරදිග, අප්‍රිකාවේ හා තුර්කියේ ප්‍රීමියම් හෝටලවල මෙහෙයුම් බාර ජ්‍යේෂ්ඨ උප සභාපති වන ජොනතන් ෂියර්ඩ්ගේ අධීක්ෂණය යටතේ කටයුතු කරනු ඇත.

නිෂාන් සිල්වා මීට පෙර, ‘ඇකෝර්’ හෝටල සමූහයට අයත්, ‘පුල්මන් ඩුබායි ක්‍රීක් සිටි සෙන්ටර් හොටෙල්  ඇන්ඩ් රෙසිඩන්සීස්’, ‘නොවොටෙල් සූට්ස් මෝල් ඔෆ් ද එමිරේට්ස්’, ‘ඉබිස් මෝල් ඔෆ් ද එමිරේට්ස්’, ‘නොවොටෙල් ඩුබායි ඩෙයිරා සිටි සෙන්ටර් ඇන්ඞ් අබිස් ඩුබායි ඩෙයිරා සිටි සෙන්ටර් අල් රිගා’ ආදී කාමර 1,667 කට වැඩි ගණනක් ඇති එක්සත් අරාබි එමිරේට්ස් හෝටල ජාලයේ සමූහ සාමාන්‍යාධිකාරීවරයා ලෙස ද කටයුතු කළේය.

කොළඹ නාලන්දාවේ ආදි සිසුවකු වන නිෂාන් සිල්වා, හෝටල පරිපාලනයට පිළිබඳව විසි පස් වසරක අත්දැකීම් ඇත්තෙකි. එම කාලයේ, ආසියාවේ සිට මැදපෙරදිග දක්වා ලොව ප්‍රකට හෝටල සම්මාන රැසක් සමඟ ඔහු සම්බන්ධ වී සිටියේය. නිෂාන් සිල්වා ඇකෝර්හී හෝටල ජාලය සමඟ එක්වූයේ 2016 වසරේදීය.

්‍හෝටල පරිපාලන කටයුතු සම්බන්ධයෙන්  නිෂාන් සිල්වා මහතා ස්විට්සර්ලන්තයේ ලුසර්න්හි අන්තර්ජාතික හොටල් කළමනාකාර ආයතනයේ අධ්‍යාපනය ලැබූවෙකි. එක්සත් රාජධානියේ ලිසෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් සිය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය සම්පූර්ණ කළේය. පාසල් අවදියේ පටන් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ නිෂාන් සිල්වා සිංහල ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.


RECOMMEND POSTS