ඉහළ වැටුප් ලබන රාජ්‍ය නායකයෝ



ලොව වැඩිම වාර්ෂික වැටුපක් ලබා ගන්නා රාජ්‍ය නායකයා කවුරුන්ද? මේ පැනයට පිළිතුරු ‘විෂුවල් කැපිටලිස්ට්’ නමැති ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනය, ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කර තිබේ. ‘විෂුවල් කැපිටලිස්ට්’ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, ඔබ මේ ලිපිය කියවන මොහොතේ, වාර්ෂිකව වැඩිම වැටුපක් ගන්නා ලෝක නායකයා, ‘ලී ක්වාන් යූගේ සිංගප්පූරුවේ’ වත්මන් අග්‍රාමාත්‍යවරයා ලොරෙන්ස් වොංග්ය. ඔහුගේ වාර්ෂික වැටුප ඇමෙරිකන් ඩොලර් මිලියන 1.6 කි. ශ්‍රී ලංකා රුපියල්වලින් නම් එය රුපියල් කෝටි 480 කි.

‘විෂුවල් කැපිටලිස්ට්’ ආයතනය, විවිධාකාරයේ තොරතුරු ලෝ වැසියන් හමුවට රැගෙන යන රාජ්‍ය නොවන ආයතනයකි. ඔවුන්ගේ වෙබ් අඩවි, බ්ලොග් අඩවි බොහොමයකි. ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාල හා සම්බන්ධ වී ඔවුන් තොරතරු ලබාගෙන ඒවා එකට එක් කර ප්‍රසිද්ධියට පත් කිරීම සිදු කරයි. ලෝකයේ වැඩිම වැටුපක් හිමි කර ගන්නා රාජ්‍ය නායකයන් 10 දෙනාගේ ලැයිස්තුව ‘විෂුවල් කැපිටලිස්ට්’ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග්ය.

වැඩිම වැටුප් ලබන රාජ්‍ය නායකයන් 10 දෙනාගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ හොංකොං ප්‍රධානී ජෝන් ලී කා චියුය. හොංකොං යනු රටක් නොව, චීනයට යටත් පාලන ප්‍රදේශයකි. හොංකොං පාලනය වන්නේ චීන හිතවාදීන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් යටතේය. ජෝන් ලී කා චියුගේ වාර්ෂික වැටුප ඇමෙරිකන් ඩොලර් 695,000 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 200 ක් පමණ) කි.

තෙවැනි ස්ථානයේ පසුවන්නේ, ස්විට්සර්ලන්ත ජනාධිපතිනී වියෝලා අම්හර්ඞ්ය. ඇගේ වැටුප ඇමෙරිකන් ඩොලර් 530,000 කි. ලෝකයට ලොක්කා වන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිටින්නේ සිවුවැනි ස්ථානයේය. ලබන නොවැම්බර් 5 වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයා බයිඩන්ය. 81 හැවිරිදි බයිඩන්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වයස්ගතම පුද්ගලයාය. බයිඩන්ගේ වාර්ෂික වැටුප ඇමෙරිකන් ඩොලර් 400,000 කි.
පස්වැනි ස්ථානයේ පසුවන්නේ ඕස්ටේ්‍රලියාවේ අග්‍රාමාත්‍යවරයාය. ඕස්ටේ්‍රලියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ පාලක පක්ෂයේ නායකයාය. වර්තමානයේ ඕස්ටේ්‍රලියාවේ පාලක පක්ෂය ලෙස බලයේ සිටින්නේ කම්කරු පක්ෂයයි. කම්කරු පක්ෂයේ නායක ඇන්තනි ඇල්බනීස් අග්‍රාමාත්‍ය ධුරය හොබවන අතර ඔහුගේ වැඩුප ඇමෙරිකන් ඩොලර් 390,000 කි.

ලොව වැඩිම වැටුපක් හිමිකර ගන්නා රාජ්‍ය නායකයන් අතර හය වැනි ස්ථානයේ පසුවන්නේ, ජර්මන් චාන්සල්වරයා වන ඕලාෆ් ෂොල්ස්ය. ඒ, ඇමෙරිකන් ඩොලර් 367,000 ක වැටුපක් හිමිකර ගනිමිනි. හත් වැනි ස්ථානයේ පසුවන්නේ රාජ්‍ය නායකයකු නොව, යුරෝපා සංගමයේ සහ යුරෝපා කොමිසfමේ සභාපති එසේත් නැතිනම් ප්‍රධානියාය. ඇය උර්සුලා වොන්ඩර් ලින්ය. උර්සුලා ඇමෙරිකන් ඩොලර් 364,000 ක මුදලක් වැටුප් ලෙස ලබා ගනී.

‘විෂුවල් කැපිටලිස්ට්’ වෙබ් අඩවියට අනුව, අට වැනි ස්ථානයේ පසුවන්නේ කාර්ල් නෙහැමර්ය. ඔහුගේ වැටුප ඇමෙරිකන් ඩොලර් 307,000 කි. කාර්ල් නෙහැමර් යනු ඔස්ටි්‍රයාවේ චාන්සල්වරයාය. ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඔස්ටි්‍රයාව යුරෝපා රටවල්ය.

ලැයිස්තුවේ 9 වැනි ස්ථානයේ සිටින්නේ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝය. කලක් ජනප්‍රිය නායකයකු වුණු කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝගේ ජාත්‍යන්තර වේදිකාවේ ජනප්‍රියත්වය අදවනවිට පහළ ගොස් ඇත. එසේ වුවත් ඔහුගේ වාර්ෂිත වැටුප නොවෙනස්ව පවතී. ටෲඩෝගේ වාර්ෂික වැටුප ඇමෙරිකන් ඩොලර් 292,000 කි. 

අවසානයේ 10 වැනි ස්ථානයේ පසුවන්නේ ඕස්ටේ්‍රලියාවේ අසල්වැසියා මෙන්ම, මුලින්ම හිරු උදාවන රාජ්‍යයක් ලෙස සැලෙකන නවසීලන්තයයි. නවසීලන්තයේ ද අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්න් පාලක පක්ෂයේ නායකයාය. වර්තමානයේ ‘ජාතික පක්ෂය’ බලයේ සිටින අතර නවසීලන්තයේ ඇත්තේ හවුල් රජයකි, අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ ක්‍රිිස්ටෝපර් ලුක්සොන්ය. ඔහුගේ වාර්ෂික වැටුප ඇමෙරිකන් ඩොලර් 288,000 කි.

විෂුවල් කැපිටලිස්ට් ඇසුරිනි


RECOMMEND POSTS