ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතා දිනය



ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතා දිනය (ITEC) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ඉකුත් දා (23) සමරන ලදි.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

කුසලතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ අතර මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ද උත්සවයට සහභාගී විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඓතිහාසිකව ශක්තිමත් බහු ආංශික සම්බන්ධතා සිහිපත් කළ සීතා අරඹේපොල මහත්මිය ශ්‍රී ලංකාවේ වර්ධනය උදෙසා විවිධ ක්ෂේත්‍රවල මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව ලබාදුන් සහයෝගය අගය කළාය. තරුණ ප්‍රජාව සඳහා රැකියා උත්පාදනය වෙනුවෙන් කුසලතා වර්ධනය සහ වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍රවල ද්විපාර්ශවික සහයෝගීතාවය තවදුරටත් ඉහළ නංවාගැනීමට උනන්දුවෙන් පසුවන බව ඇය මෙහිදි කීවා ය.

මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවට සහතික විය. “වාසුදේව කුටුම්බකම්” යන දර්ශනය පිළිබඳව සඳහන් කළ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පුද්ගලයන්ගේ කුසලතා වර්ධනය කිරීම උදෙසා ඉන්දියාව ලොව පුරා රටවලට සහාය වී ඇති බව කීවේ ය. කොවිඩ් වසංගතය හේතුවෙන් ඉන්දීය රජය 2020 අප්‍රේල් මස මුලදී මාර්ගගත පාඨමාලා පැවැත්වීමට පියවර ගත් බව සඳහන් කළ හෙතෙම මේ දක්වා ශ්‍රී ලංකාවෙන් 600 දෙනෙකු පමණ මෙම පාඨමාලාවන්ගෙන් ප්‍රතිලාභ ලබා ඇති බව ද පැවැසීය.

විවිධ අයි.ටී.ඊ.සී (තාක්ෂණික සහ ආර්ථික- ITEC) පාඨමාලා හැදෑරූ ශ්‍රී ලාංකිකයන් රැසක් ද මෙහිදී තම අත්දැකීම් බෙදා හදා ගත්හ.

ඉන්දියානු තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතා වැඩසටහන 1964 වසරේදී ඉන්දීය රජයේ ද්විපාර්ශවික සහයෝගීතා වැඩසටහනක් වශයෙන් ස්ථාපනය කරන ලදී. මෙය වෘත්තිකයන් සඳහා පුහුණුව සහ කුසලතා සංවර්ධනය, අයි.ටී.ඊ.සී - ITEC යටතේ ක්‍රියාත්මක කෙරෙන මූලික කාර්යයකි. සිවිල් සහ ආරක්ෂක දෙඅංශය සමඟින්, අයි.ටී.ඊ.සී - ITEC වැඩසටහන ගිණුම්, විගණන, බැංකු සහ මූල්‍ය සිට සයිබර් තාක්ෂණය දක්වා ද පරිසරය සහ දේශගුණික විපර්යාස සිට කළමනාකරණය සහ නායකත්වය දක්වා ද මානව සම්පත් සංවර්ධනය සහ සැලසුම්කරණයේ සිට සැපයුම් කළමනාකරණය දක්වා ද මාධ්‍ය සහ මාධ්‍යකරණයේ සිට නගර සැලසුම්කරණය දක්වා ද සාගර සහ ගුවන්යානා තාක්ෂණයේ සිට කාන්තා සවිබල ගැන්වීම දක්වා ද තවත් බොහෝ අංශ ද ආවරණය කරමින් ක්ෂේත්‍ර 25ක විවිධ පාඨමාලා රැසක් පිරිනමයි. ශ්‍රී ලංකාව, අයි.ටී.ඊ.සී - ITEC වැඩසටහනේ වැදගත් සහකාර රාජ්‍යයකි. මේ යටතේ සෑම වසරක ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ට සහ පුරවැසියන්ට ඔවුන්ගේ කුසලතා වර්ධනය සඳහා උපකාරී වන කෙටි කාලීන පුහුණු පාඨමාලා සඳහා පූර්ණ ශිෂ්‍යත්ව 402ක් පිරිනමයි. වැඩිදුර විස්තර www.itecgoi.in වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

මෙම උත්සවයට අයි.ටී.ඊ.සී (තාක්ෂණික සහ ආර්ථික- ITEC) ආදී සිසු සිසුවියන් සහ ඉන්දියාවේ විවිධ පුහුණු පාඨමාලාවන්ට සහභාගී වූ වෘත්තිකයන් මෙන්ම ITEC පාඨමාලා සඳහා සහභාගී වූවන් සහ ශ්‍රී ලංකා රජයේ විවිධ අමාත්‍යාංශවල නිලධාරීන් 125ක පමණ පිරිසක් මෙම උත්සවයට සහභාගී වී සිටියහ.


RECOMMEND POSTS