අසාර්ථක මූල්‍ය ආයතන පහක් ඈවර කරයි



නීතිමය ප්‍රතිපාදන අනුව යමින් අසාර්ථක මූල්‍ය ආයතන පහක් ඈවර කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

‘සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී’ සහ ‘ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්’ යන අසාර්ථක මූල්‍ය සමාගම් පහ මෙලෙස ඈවර කෙරෙනු ඇත.

මේ අනුව, අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ ඈවර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ, පුනර්ජීවනය සඳහා ඉදිරිපත් විය හැකි විකල්ප යෝජනා පරික්ෂා කිරීම සඳහා අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවන උපදේශන කමිටුවක් (උපදේශන කමිටුව) පත්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉකුත් (2021) ඔක්තෝබර් මාසයේ දී පියවර ගත්තේ ය.

ඉහතින් සඳහන් කළ අසාර්ථක මූල්‍ය සමාගම් 5 පුනර්ජීවනය කිරීම සඳහා පැවතිය හැකි විකල්ප නිර්දේශ ඉදිරිපත් කිරීමට හෝ එසේ පැවතිය හැකි විකල්ප ශක්‍ය නොවන්නේ නම්, එම අසාර්ථක මූල්‍ය සමාගම් පහ ඈවර කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම උපදේශන කමිටුව වෙත පවරා තිබිණි.

මෙම උපදේශන කමිටුව විසින් ඉහතින් සඳහන් කළ අසාර්ථක මූල්‍ය සමාගම් අතරින් හතරක් සම්බන්ධයෙන් විවිධ පාර්ශව යොමු කරන ලද යෝජනා කිහිපයක් පරික්ෂාකාරීව සලකා බලා සිය කමිටුවේ අවසන් වාර්තාව මැයි මස 31 වැනිදා මුදල් මණ්ඩලය වෙත යොමු කර ඇත.

උපදේශන කමිටුව විසින් ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ සම්බන්ධයෙන් යොමු කළ වාර්තාව සලකා බැලූ මුදල් මණ්ඩලය, එම උපදේශන කමිටුව වෙත ඉදිරිපත් වී ඇති යෝජනා මඟින් ප්‍රතිපත්තිමය හා නෛතික ගැටලු ඇති කරවන බවත් එම යෝජනා පවතින නෛතික රාමුව තුළ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බවත් සටහන් කර ඇත.

පවතින ආර්ථික තත්ත්වය යටතේ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ හැකි කිසිඳු යෝජනාවක් අපේක්ෂිත ආයෝජකයන්ගෙන් ඉදිරිපත් නොවනු ඇති බවට අපේක්ෂා කරන උපදේශන කමිටුව මෙම තත්ත්ව යටතේ ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ අතරින්, දැනටමත් ඈවර කිරීම සඳහා ඉල්ලුම් කර ඇති මූල්‍ය සමාගම්හි ඈවර කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ එසේ ඉල්ලුම් කර නොමැති මූල්‍ය සමාගම් ඈවර කිරීම සඳහා ඉල්ලුම් කිරීම, පවතින එකම විකල්පය ලෙස හඳුනාගෙන ඇත.

ඉහත කරුණු අනුව, උපදේශන කමිටුවේ වාර්තාව මඟින් එකී කමිටුව විසුරුවා හැරීමට නිර්දේශ කර ඇත.

උපදේශන කමිටුවේ නිර්දේශය පදනම් කරගනිමින් මුදල් මණ්ඩලය විසින් එකී උපදේශන කමිටුව විසුරුවා හැරීමට තීරණය කර ඇත.


RECOMMEND POSTS