REXTRO-2025

රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය, සිය රජත ජයන්තිය සමරයි. ඒ නිමිත්තෙන්, දැනුම පමණක් නොව, සතුට සහ විනෝදය ද කැටි කරගත් REXTRO-2025 ඉන්ජිනේරු ප්‍රදර්ශනය 2025 දෙසැම්බර් 5, 6 සහ 7 ගාල්ල, හපුගල, රුහුණු විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨ පරිශ්‍රයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ, දකුණු ලක පැවැත්වෙන විශාලතම ඉන්ජිනේරු ප්‍රදර්ශනය මෙයයි. REXTRO-2025 ප්‍රදර්ශනය පැවැත්වෙන අයුරු ගැන දැන ගැනීමට අපට රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ වර්තමාන පීඨාධිපති මහාචාර්ය චමින්ද කරුණාසේන මහතා මෙන්ම රජත ජයන්ත සැමරුමේ මාධ්‍ය හා ප්‍රකාශන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන මහාචාර්ය තුෂාර චමින්ද මහතා සම්බන්ධ කර ගැනීමට හැකිවිය.
රුහුණු විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ 25 වසරක ගමන REXTRO-2025 ඉංජිනේරු ප්‍රදර්ශනය හරහා රටට පෙන්වන්නයි, සූදානම් වෙන්නේ. ගතවුණු මේ 25 වසරක ගමන ගැන ඉංජිනේරු පීඨයේ වර්තමාන පීඨාධිපති මහාචාර්ය චමින්ද කරුණාසේන මහතාගෙන් අපි අදහස් විමසා බැලුවෙමු.
REXTRO-2025 ඉංජිනේරු ප්‍රදර්ශනය තවත් එක් ප්‍රදර්ශනයක් නෙවෙයි. මෙය දැනුම සහ විනෝදය කැටි වුණු ප්‍රදර්ශනයක්. අද අප රටක් විදියට සිටින්නේ විශේෂ සංධිස්ථානයකය. ජතතා බදු මුදලින් යැපෙන ආයතනයක් ලෙස අපේ සේවය අනාගතයට ඉතාමත් වැදගත්ය. රජත ජයන්තිය ලෙස අප මේ අවුරුදු 25 සමරන්නේ, දශක දෙකහමාරක අපේ අත්දැකීම් මතුපරපුරට, රටට සහ ලෝකයට ලෝකයට පෙන්වාදීමටයි. එලෙසම, ඉංජිනේරු විද්‍යාවේ සහ තාක්ෂණයේ නව ප්‍රවණතා පිළිබඳව දැනුවත් කිරීම සහ අපගේ නව නිපැයුම් සහ උපායමාර්ග පිළිබඳව, කර්මාන්ත අංශයට සහ ව්‍යවසායකයන්ට දැනුවත් කිරීමත් අප බලාපොරොත්තු වෙනවා. තවද, ජාතික මට්ටමේ මෙන්ම අන්තර් ජාතික මට්ටමේ ප්‍රදර්ශන බොහොමයක් කොළඹ කේන්ද්‍ර කොට ගනිමින් තමයි පැවැත්වෙන්නේ. ඒ නිසා තමයි දකුණු ලක පැවෙත්වෙන මෙම දැවන්ත ඉංජිනේරු ප්‍රදර්ශනය සැමට වැදගත් වෙන්නේ.
දියුණු වෙමින් පවතින රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව වැනි රටකට, ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රගමනය අතිශය තීරණාත්මකයි. ඒ අනුව තමයි, මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට එක්වූ තුන්වන ඉංජිනේරූ පීඨය ලෙස, මීට අවුරුදු 25 කට කලින් රුහුණු විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨය ආරම්භ වුණේ. ගාල්ල, හපුගල, බොහොම සුන්දර පරිසරයක පිහිටා ඇති රුහුණු විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය දකුණු ලක පිහිටි එකම රාජ්‍ය ඉංජිනේරු පීඨයයි. එවකට උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය රිචඩ් පතිරණ මහතාගේ සංකල්පකට අනුව බිහිවුණු මෙම ඉංජිනේරු පීඨයේ පළමු කණ්ඩාය්මට බඳවාගත්තේ ශිෂ්‍යයන් 100 දෙනකු පමණි. නමුත් අද වනවිට එක් කණ්ඩායමකට බඳවාගන්නා ඉංජිනේරු සිසුන් සංඛ්‍යාව 550ක් තෙක් වැඩි කිරීමට අප පීඨයට හැකි වී තිබෙනවා.
ආරම්ඹක පීඨාධිපති ලෙස කටයුතු කළ ආචාර්ය ජීවානන්ද කීර්තිසේන මහතා රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය පිහිටුවූ පුරෝගාමියාය. මේ වනවිට ඉංජිනේරු උපාධිය සමත් වී කණ්ඩායම් 21 ක් වෘතීයමය ඉංජිනේරුවන් ලෙස පිටවී ගොස් තිබෙනවා. ඒ අනුව ඉංජිනේරු උපාධිධාරීන් 4,000 ක් පමණ රටට, ලෝකයට දායාද කිරීමට රුහුණු විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය මේ වන විට සමත් වී අවසන්. අප පීඨය අධ්‍යයන අංශ පහකින් සමන්විතයි. එනම්, සිවිල් සහ පාරිසරක ඉංජිනේරු අංශය, විද්‍යුත් සහ තොරතුරු ඉංජිනේරු අංශය, යාන්ත්‍රික සහ නිෂ්පාදන ඉංජිනේරු අංශය, නාවික ඉංජිනේරු සහ නෞකා නිර්මාණ අංශය, විෂයාන්තර අධ්‍යයන අංශය ආදියයි.
REXTRO-2025 ඉංජිනේරු ප්‍රදර්ශනය විවිධ කලාප 47 ක් යටතේ පැවැත්වෙනවා. ඒ වගේමයි, රාජ්‍ය සහ පෞද්ගලික ඉංජිනේරු ක්ෂේත්‍රවල නියෝජනයක් ද සිද්ධ වෙනවා. ගුවන් සහ නාවික හමුදා ඉංජිනේරු අංශයන් පවා මෙම ප්‍රදර්ශනයට සම්බන්ධ වීමට නියමිතයි. ප්‍රදර්ශනයට සමගාමීව පාසල් මට්ටමෙන් ද ක්‍රියාකාරකම් රැසක් පැවැත්වෙනවා. මේ ගැන අප රජත ජයන්ත සැමරුමේ මාධ්‍ය හා ප්‍රකාශන කමිටුවේ සභාපති මහාචාර්ය තුෂාර චමින්ද මහතාගෙන් අදහස් විමසා බැලුවෙමු.
අප ඉංජිනේරු පීඨයේ පවතින අධ්‍යයන අංශ පහ තුළින් බිහි වූ නවෝත්පාදන සහ ඉංජිනේරු පර්යේෂණ වලට අදාළ, ව්‍යාපෘති 400 කට වැඩි ගණනක්, ප්‍රධාන කලාප 4 7ක් ඔස්සේ මෙම REXTRO-2025 ඉංජිනේරු ප්‍රදර්ශනයට එක් කිරීමට නියමිතයි. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ඕනෑම අයකුට, විශේෂයෙන්ම සිසුන්ට සහ වෘත්තිකයන්ට, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, රොබෝ තාක්ෂණයේ සිට පාරිසරික විසඳුම් දක්වා විවිධ නිර්මාණයන් සහ ව්‍යාපෘතීන් දැක බලා ගත හැකියි.
ප්‍රධාන කලාපවලට අමතරව, තවත් කලාප කීපයක් ද ප්‍රදර්ශනයේ දකින්න ලැබෙනවා. කර්මාන්ත කලාපය ඒ අතරින් ප්‍රධානයි. දැනට ක්ෂේත්‍රයේ සිටින ඉංජිනේරු සමාගම් අප සම්බන්ධ කරගෙන තිබෙනවා. ව්‍යවසායකයන් වෙන්න බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම කෙනකුට මෙම සමාගම් හමුවෙලා උපදෙස් ලබා ගැනිමට මෙම ඉංජිනේරු ප්‍රදර්ශනයදී අවස්තාව උදා කර දි තිබෙනවා. නවෝත්පාදන සහ නව නිර්මාණ සඳහා කලාපයක්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණික කලාපයක් මෙන්ම පරිගණක ක්‍රීඩා සඳහා ද වෙන් වූ කලාපයන් ද ප්‍රදර්ශන භූමියේ දී අත්දකින්න පුළුවන්. මෙම රජත ජයන්ති ප්‍රදර්ශනය මඟින්, පීඨයේ සිසුන්ගේ නිර්මාණ සහ ව්‍යාපෘති වලට අමතරව, පෞද්ගලික සහ රාජ්‍ය ඉංජිනේරු ආයතන, කර්මන්ත අංශ වල ඉංජිනේරු ක්‍රියාකාරකම් ද ගුවන් සහ නාවික හමුදා ඉංජිනේරුමය ක්‍රියාකාරකම් පිළිබඳ අත්දැකීම් ද ලබා ගත හැකියි.
ඉංජිනේරු ප්‍රදර්ශනයට අමතරව, රොබෝ නිර්මාණ තරඟ, ඩ්‍රෝන තාක්ෂණික තරඟ, ගණිත අභියෝගිතා තරඟ, ජල රොකට්ටු නිර්මාණ තරඟ, රෝවර් නිර්මාණය කිරීමේ තරඟ, සහ තාක්ෂණික විවාද තරඟ, ආදී නොයෙකුත් තරඟ පවා පැවැත්වීමට අපගේ ඉංජිනේරු සිසුන් මේවනවිටත් සංවිධානය කරමින් සිටිනවා. මෙම සමහර තරඟ වලට අදාළ පූර්ව සුදුසුකම් ලැබීමේ තරඟ, පාසල් මට්ටමින් මේ වන්විටත් පවත්වා අවසන්. එම පාසල් සිසුන්ගේ නිර්මාණත් REXTRO ප්‍රදර්ශන භූමියේ දකින්න ලැබෙනවා. මේ සියල්ලටම අමතරව ඉංජිනේරු ශිෂ්‍යයන්ගේ කලා හැකියාව පෙන්වමින් සංස්කෘතික සංදර්ශන සහ මැජික් සංදර්ශන පවා ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම සවස දැක ගන්න පුළුවන්.
විවිධ වයස් කාණ්ඩවල පාසල් සිසුන්ගෙන් පටන්ගෙන, විශ්ව විද්‍යාල සිසුන් දක්වාත්, වෘතීයවේදින්ටත්, ව්‍යසායකයින්ටත්, සාමාන්‍ය ජනතාවටත් විවිධාකාරයේ දැනුම සහ විනෝදාත්සවය විඳිය හැකි අපූරු අත්දැකීමක් විඳගැනීමට මෙම ඉංජිනේරු ප්‍රදර්ශනයේදී හැකිවෙනු ඇතයි අපගේ විශ්වාශයයි. 2025 දෙසැම්බර් 5, 6 සහ 7 දින තුනක් පුරා, උදෑසන 9.00 සිට පස්වරු 7.00 දක්වා, ගාල්ල, හපුගල, රුහුණු විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨ පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම REXTRO-2025 ඉංජිනේරු ප්‍රදර්ශනය තුළින්, ඉංජිනේරු විද්‍යාවේ සහ තාක්ෂණයේ නව ප්‍රවණතා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ඔබ සියළු දෙනාටම හැකි වේවි.

