සවුදි අරාබිය වීසා ගාස්තු වැඩි කරයි.



ඛනිජ තෙල් මිල පහත් මට්ටමක පවතින හෙයින් සවුදි රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා එරට කැබිනට් මණ්ඩලය නව යෝජනා රැසක් සම්මත කරගෙන ඇත. ඒ අනුව සවුදි අරාබියේ වීසා ගාස්තුද මාර්ග නීති උල්ලංඝනය වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල් ගාස්තුවද වැඩිවනු ඇත.

සවුදි අරාබි රජය පවසන අන්දමට තෙල් මිල පහත මට්ටමක පවතින නිසා තෙල් අපනයනය කිරීමෙන් ලැබෙන රජයේ ආදායම විශාල වශයෙන් අඩුවී ඇති අතර එය අයවැය ලේඛනයටද දැඩි බලපෑමක් එල්ල කර ඇත.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද නව වීසා ගාස්තු ක්‍රමය අනුව වසර දෙකක සඳහා වන බහු ආංගික ප්රවේශ පත්‍ර ගාස්තුව සවුදි රියාල් 8000ක් (ඇමෙරිකානු ඩොලර් 2133ක්) වනු ඇත. මාස තුනක් සඳහා පිටවීමේ හා යළි ඇතුළුවීමේ විසා ගාස්තුව රියාල් 500ක් වනු ඇත. කලින් මෙම මුදල අය කෙරුණේ මාස හයක් සඳහාය.

නව ගාස්තු සංශෝධනයෙන් ලැබීමට අපේක්ෂා කරන මුදල කොතෙක්දැයි සවුදි රජය මෙතෙක් පවසා නැත. කෙසේ වෙතත් මෙම නව ගාස්තු වැඩිවීම සවුදි අරාබියේ ජීවත්වන සහ සේවය කරන කෝටියකට ආසන්න විදේශිකයනට තදින් බලපානු ඇතැයි ආරංචි මාර්ග සඳ හන් කරයි.


RECOMMEND POSTS