තෙවැනි සමාලෝචනයේදී විධිමත් තක්සේරුවක්



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රධාන කැපවීම් සපුරාලීමේ ප්‍රගතිය තෙවැනි සමාලෝචනයේදී විධිමත් ලෙස තක්සේරු කරන බවත් තෙවැනි සමාලෝචනය සිදුකරන කාල සීමාව පිළිබඳව එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව රජය සමඟ සාකච්ඡා කරන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව දැඩි වෙහෙස මහන්සියකින් ගොඩගත් ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනෙන් මෙරටට ලබාදී ඇති කැපවීම් නිසි කලට සම්පූර්ණ කිරීමටත් බලධාරීන් වගා බලාගත යුතු බවද පීටර් බෲවර් මහතා පෙන්වා දුන්නේය.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා යන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයකට ශ්‍රී ලංකාව පැමිණ ඇති බවත් ඉදිරි අනාගතය තීරණය වන්නේ ඉහත කරුණු දෙක සම්පූර්ණ කිරීම මත බවත් පීටර් බෲවර් මහතා පැවැසුවේය ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කර ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධකයක් වන මැදි කාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක මට්ටමක ප්‍රාථමික මූල්‍ය ශේෂය පවත්වා ගැනීම සඳහා 2025 අයවැයෙන් සුදුසු ආදායම් ක්‍රියාමාර්ග ගත යුතු බවත් අඛණ්ඩ වියදම්  සීමා කිරීම් කළ යුතු බවත් බෲවර් මහතා ප්‍රකාශ කළේය.

ලබන වසරේදී මෝටර් රථ ආනයන මත පනවා ඇති සීමා කිරීම් ලිහිල් කිරීම තුළින් රජයේ අදායම වැඩිකර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද ඔහු පැවැසුවේය. යෝජිත ක්‍රියාමාර්ග මගින් රජයේ අදායම අඩුවීමේ බලපෑමක් ඇත්නම් එය මගහරවා ගැනීම සඳහා ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව බෲවර් මහතා සඳහන් කළේය.

නව බදු නිදහස් කිරීම් ලබා නොදීම මගින් දූෂණ අවදානම් සහ රජයේ ආදායම් අහිමිවීම් අවම වන බවත් ඉන් විනිවිදභාවයකින් යුත් බදු ක්‍රමයක් සහතික වන බවත් බෲවර් මහතා ප්‍රකාශ කළේය. එසේම පිරිවැය අවාරණය කළ හැකි මට්ටමක බලශක්ති මිල පවත්වාගෙන යාමද අත්‍යාවශ්‍ය කරුණක් බව බෲවර් මහතා පැවැසුවේය.


RECOMMEND POSTS