කෘත්‍රිම DNA

ඩී.එන්.ඒ. යනු සිරුරේ සෛල ඇතුළේ ඇති පුංචිම පුංචි තොරතුරු ගබඩාවකි. සිරුර සැකසිය යුතු ආකාරය, සිරුර පවත්වාගෙන යන ආකාරය සහ ගති ලක්ෂණ ආදිය අඩංගු ජීව විද්‍යාත්මක සැලැස්ම මෙයයි. සිරුර සැකසෙන පුංචිම පුංචි කොටස් වන්නේ සෛලය.
සෑම සෛලයකම, න්‍යෂ්ටියක් අඩංගු වෙයි. න්‍යෂ්ටියේ වර්ණදේහ අඩංගු වන අතර, ඩී.එන්.ඒ. ඇත්තේ මේ වර්ණදේහ තුළය. ඩී.එන්.ඒ. අණුවක් පේන්නේ කැරකුණු ඉනිමගක් ලෙසය. විද්‍යාඥයන් මෙය හඳුන්වන්නේ, ද්විත්ව හෙලික්සය යනුවෙනි.
ඇස්වල වර්ණය, කොණ්ඩයේ නැතිනම් හිස කෙස්වල වර්ණය, උස, සිරුර වැඩෙන ආකාරය ආදී සෑම දේකටම අවශ්‍ය උපදෙස්, ඩී.එන්.ඒ. හරහා ලබා දීම සිදුවෙයි. සිරුර ක්‍රියාත්මක වන්නේ ඒ අනුවය. මාපියන්ගෙන් දරුවන්ට ගති ලක්ෂණ ලැබෙන්නේ ද ඩී.එන්.ඒ. හරහායි. පරම්පරාවෙන් පරම්පරාවට ඒ ගතිලක්ෂණ පැතිර යයි. සිරුරේ සෛල බෙදීමේ දී නව සෛල නිර්මාණය වෙයි. මේ නව සෛලවලට ද ඩී.එන්.ඒ. තොරතුරු අවශ්‍ය වන බැවින්, ඩී.එන්.ඒ. අණු තමන්ගෙම පිටපත් සකස් කර ගනී.
දැන්, මානව ප්‍රවේණික තොරතුරු අන්තර්ගත ඩී.එන්.ඒ. අණුවල එක් එක් කොටස් මුල සිට ම නිර්මාණය කිරීමට බටහිර විද්‍යාඥයෝ පිරිසක් යොමු වී සිටිති. මෙම පර්යේෂණය, මේ වනවිටත් ආන්දෝලනයක් වී අවසන්ය. ඒ, ජානමය වශයෙන් වෙනස් කරන ලද දරුවන් හෝ අනාගත පරම්පරාවට හෝ මෙලෙස කෘත්‍රිමව ඩී.එන්.ඒ. නිර්මාණය කිරීම කුමන ආකාරයේ බලපෑමක් ඇති කරාවි යැයි ඇති බිය නිසාය. එබැවින්, මෙම පර්යේෂණය, සදාචාරාත්මකව පිළිගත නොහැකි දෙයක් බව වැඩි දෙනාගේ පිළිගැනීමය.
මෙම පර්යේෂණයට අත ගසා සිටින්නේ, ලන්ඩන් නුවර කේන්ද්‍රකොට ගත් වෙල්කම් ට්‍රස්ට් වෛද්‍ය පර්යේෂණ ආයතනයයි. මෙය ලොව විශාලතම වෛද්‍ය පුණ්‍යායතනය ද වෙයි. කෘත්‍රිමව ඩී.එන්.ඒ. නිර්මාණය කිරීමේ මෙම ව්‍යාපෘතියට මූලික වශයෙන් පවුම් මිලියන 10 ක මුදලක් වෙන් කර ඇති බව ද පැවසෙයි. විද්‍යාඥයන් අපේක්ෂා කරන්නේ, මෙම පර්යේෂණය හරහා ඔවුන්ට සුව කළ නොහැකි රෝග රැසකට ප්‍රතිකාර සොයා ගැනීම හැකිවනු ඇති බවය.
කේම්බ්‍රිජ්හි එම්.ආර්.සී. අණුක ජීව විද්‍යාගාරයේ ආචාර්ය ජූලියන් සේල් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ පර්යේෂකවරයකු ලෙස කටයුතු කරයි. ඔහු නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කියයි. ‘මෙය ජීව විද්‍යාවේ යෝධ පිම්මක් බව සැකයක් නැහැ. නිරෝගීව, සෞඛ්‍ය සම්පන්නව වයසට යා හැකි ක්‍රමයක් හැමෝටම උදා කර දීමයි අපේ අරමුණ. අප මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසායි.’
බීබීසී ඇසුරිනි

