‘කොවැක්ස්’ පහසුකම යටතේ එන්නත් මිලියන 65 ක්



ඉදිරි දින කිහිපය තුළ දී ‘කොවැක්ස්’ එන්නත් පහසුකම යටතේ එන්නත් මාත්‍රා මිලියන 65ක් බෙදාහරින් බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්-එක්සත් ජාතීන්ගේ ළමා හදිසි අරමුදල) නිවේදනය කරයි.

මේ වනවිට අවම එන්නත් මාත්‍රා අවශ්‍යතාව මිලියන 170ක් වන බවත් එසේ වුවත් ඉදිරි දින කිහිපය ඇතුළත ‘කොවැක්ස්’ වැඩසටහන යටතේ බෙදාහැරීමට හැකියාව ඇත්තේ එන්නත් මාත්‍රා මිලියන 65ක් බවත් එම සංවිධානය කියයි.

ලොව පුරා එන්නත් බෙදාහැරීම සමානව සිදු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද වැඩසටහන ‘කොවැක්ස්’ යනුවෙන් හඳුන්වයි. ජී7 රටවල නායකයන්ගේ සමුළුව එක්සත් රාජධානියේ දී ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් තීරණය වනු ඇත.

ඉන්දියාව තුළ පැතිර යන නව කොරෝනා වයිරසයේ මාරාන්තික දෙවැනි රැල්ල ඉදිරියේදී ඉන්දියාවේ පමණක් දකුණු ආසියානු කලාපයේ ඔවුන්ගේ අසල්වැසි රටවලටත් පැතිර යනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි. ලබන මාසය වනවිට මෙම එන්නත් හිඟය මිලියන 190ක් පමණක් වනු ඇතැයි ද එම අරමුදල කියයි.

“වයිරසය පාලනය කිරීමට ගත යුතු අත්‍යවශ්‍ය පියවර අඩු නොකරන්නැයි අපි දිගින් දිගටම අනතුරු ඇඟෙව්වා. ඒ වගේම පහළ සහ මැදි ආදායම් ලබන රටවලට එන්නත් මාත්‍රා මිලදී ගැනීම, ප්‍රතිකාර, වයිරස ආසාදිතයන් හඳුනාගන්න අවශ්‍ය පහසුකම් අවශ්‍ය බවත් අපි දිගින් දිගටම කිව්වා. ඉන්දියාවේ වර්තමාන තත්ත්වය පූර්ව නිමිත්තක් විතරයි. අපද ඇතුළුව වෛද්‍ය විශේෂඥයන් දෙන උපදෙස් පිළිපදින්නේ නැතිනම් තත්ත්වය මීට වඩා දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා වසංගතයට එරෙහිව ගන්න පියවර අඩු නොකළ යුතු බව අපි අනතුරු අඟවනවා. ඉන්දියාවේ තත්ත්වය ඛේදනීය යි. එහෙත් එය ඔවුන්ට විතරක් ආවේණික තත්ත්වයක් නෙමෙයි. ඉන්දියාවේ ආසන්නයේ රටවල් වන නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින රටවල මෙන්ම ඉන්දියාවට බොහෝ ඈතින් පිහිටි ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය යන රටවල දෛනික ආසාදිතයන් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබෙනවා. සෞඛ්‍ය පද්ධති මහත් අර්බුදයකට මුහුණ දී සිටිනවා. මේ තත්ත්වයෙන් දරුවන්වට සහ පවුල්වලට සිදුව තිබෙන හානිය/පාඩුව ගණන් කරන්න බැහැ” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක අධ්‍යක්ෂ හෙන්රීටා ෆෝ සඳහන් කරයි.

“කිසිදු පරීක්ෂාවක් නොමැතිව වයිරසයට පැතිරෙන්නට ඉඩ දුන්නොත් මීටත් වඩා මාරාන්තික සහ වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රභේද උඩට එන්න පුළුවන්. මේ ගෝලීය වසංගතයට ඇති එකම විසඳුම එන්නත් සමානව බෙදී යෑම තහවුරු කිරීම” යැයි ද ඇය කියයි.

“ඉන්දියාව යනු ගෝලීය එන්නත් නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයයි. ඉන්දියාවේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් ‘කොවැක්ස්’ එන්නත් යාන්ත්‍රණයට ලැබිය යුතු එන්නත් මාත්‍රා ගණන විශාල වශයෙන් අඩු වී තිබෙනවා.‘කොවැක්ස්’ වැඩසටහන යටතේ මැයි මාසය අග වනවිට එන්නත් මාත්‍රා මිලියන 140ක් පහළ සහ මැදි ආදායම් ලබන රටවලට බෙදාහැරීමට නියමිතව තිබුණා. කෙසේ නමුත් ඒ ඉලක්කයට යන්න වෙන්නේ නැහැ. ජූනි මාසය වෙද්දි තවත් එන්නත් මාත්‍රා මිලියන 50ක හිඟයක් ඇති වෙනවා” යැයි ඇය තවදුරටත් සඳහන් කරයි.


RECOMMEND POSTS