සයිනෝෆාම් එන්නත ලබාදීම ඇරැඹේ



චීන රජයේ ආධාර ඇතිව ලැබී ඇති සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම ඊයේ (8) පස්වරුවේ  පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යලයේදී ආරම්භ කරන ලදී.

පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පදිංචි 100 දෙනෙකුට එන්නතේ පළමු මාත්‍රාව පළමු අදියරේදී ලබාදීමට කටයුතු කල බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මොහොමඩ් ඉෂ්මි මහතා පැවසීය.

වයස අවුරුදු 30 ත් 60 ත් අතර  අයට එන්නත ලබාදීම සිදු කළ අතර , එන්නත ලබාගැනීමට පැමිණි බොහෝ පිරිසක් නැවත හැරී යන අයුරු ද දැකගත හැකිවිය.

විදේශිකයන් ද එන්නත ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටිම විශේෂත්වයකි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවීඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේ පැවැසුවාය.

'සයිනොෆාම් එන්නත  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කර තිබෙනවා. චීන ජනරජයෙන් අපට එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ලැබී තියෙනවා. අද පානදුරෙන් අපි ඒක ලබාදීම ආරම්භ කලා. මේ වන විට වැඩිම රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන් සහ මහනුවර, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින්.  ඉදිරියේදී රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන පුදේශ අනුව මෙම එන්නත ලබාදීමට කටයුතු කරනවා.

මෙම එන්නත්කරණය සිදු කිරීමේ අවස්ථාවට, කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, ජයන්ත සමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න සහ අනූප පැස්කුවෙල් ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙන්ම, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුනසේන ඇතුළු පිරිසක් ද සහභාගි වී සිටියහ.

පානදුර - සුමිත් ප්‍රේමතිලක සහ සමන් කාරියවසම්


RECOMMEND POSTS