ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව ඉවත් කරන්න



ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවේ කොන්ග්‍රස් සභික ඩෙබොරා රොස් විසින් ඉදිරිපත් කළ මානව හිමිකම් යෝජනාව ඉල්ලා අස්කර ගැනීම හෝ සංශෝධනය කිරීම සඳහා ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ක්ෂණික මැදිහත්වීමක් අවශ්‍ය බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ වැඩ බලන ඇමෙරිකා  තානාපති මාටින් ටී. කෙලි මහතාට දැනුම් දී ඇත‍.

වැඩ බලන ඇමෙරිකා තානාපති මාටින් ටී. කෙලි මහතා 8 වැනිදා විදේශ අමාත්‍යංශයේදී හමු වූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොන්ග්‍රස් සභික ඩෙබොරා රොස් විසින් ඉදිරිපත් කරන ලද   මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සඳහා ප්‍රයෝජනවත් නොවනබවද විදේශ අමාත්‍යවරයා හෙදී වැඩබලන ඇමෙරිකා තානාපතිවරයාට පෙන්වා දුන්නේය.

කොවැක්ස්  වැඩසටහන හරහා කොවිඩ් -19 මර්දන එන්නත් ලබා ගන්නා රටවලින් එකක් ශ්‍රී ලංකාව බවට එක්සත් ජනපද ජනාධිපති මෑතකදී කළ නිවේදනය මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ ඇගැයුමට ලක් විය
 
එමගින් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දුන් සහයෝගයට විදේශ අමාත්‍යවරයා එරට රජයට සහ එක්සත් ජනපද ජනතාවට ස්තූතිය පුද කළේය. .  

එක්සත ජාතීන්ගේ සංවර්ධන අරමුදල මගින් හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් මෙරටට ලබා දීම සහ එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් නැව ගිනි ගැනීමෙන් සිදුවීමට තිබු දැඩි පාරිසරික හානිය අවම කිරීම සඳහා එක්සත් ජනපදයේ සහාය ලබා දීමට ඉදිරිපත් වීම පිළිබඳව ද අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.
 
මෙම රැස්වීමට එක්වෙමින් විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ විසින් COVID-19 වසංගතය පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයන් සහ දැනට පවතින එන්නත් කිරීමේ වැඩසටහනේ තත්ත්වය පිළිබඳව විස්තර කළේය.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS