පැරිසියේ ඛේදවාචකය
පවුල් ආරවුලක් හේතුවෙන් ප්රංශයේ පැරිස් නුවර ආසන්න ප්රදේශයේ ජීවත් වූ ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු විසින් තම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙලෙස අවාසනාවන්ත ලෙස පිහි ඇනුමෙන් ඝාතනය කර ඇත්තේ ලාංකික සම්භවයකින් යුතු එම පවුලක කුඩා දරුවන් හතර දෙනෙකු සහ එක් වැඩිහිටියෙකු බැව් පැවසේ.ජීවතක්ෂයට පත් වූ ළමුන් සිව් දෙනාම වයස අවුරුදු 2 ත් අවුරුදු 14 අතර පසුවන අයවෙති.
පෙරේදා (03) සිදුවූ මෙම පිහි ඇනුමෙන් එම පවුලේම ජීවත්වූ තවත් පස් දෙනෙකුටද තුවාල වී ඇති අතර ඉන් තිදෙනෙකුගේම තත්ත්වය බරපතල වන බවද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.
පවුල් ආරවුලක් මත සිදුව ඇතැයි කියන මෙම සිද්ධියෙන් තුවාල ලැබූ තරුණ වයසේ පසුවූ එම පවුලේම තවත් අයෙකු අසල පිහිටි අවන්හලකට පැමිණ උදව් ඉල්ලා ඇති අතර තම ඥාති මාමා කෙනෙකු විසින් සිහිවිකල්ව පවුලේ අයට පිහියකින් හා මිටකින් පහර දුන් බවද එම තරුණයා එහි සිටි අයට ප්රකාශ කොට ඇත.
පසුව එම අවහන්හලේ පිරිස් සිද්ධිය සම්බන්ධයෙන් පැරිස් නුවර පොලීසියට පවසා ඇත.සිද්ධිය වූ ස්ථානයට වහා ගිය පොලිස් නිලධාරීන්ට එම පිහි ඇනුමෙන් තුවාල ලබා සිටි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු නිවසේ වැතිරී සිටින අයුරු දක්නට ලැබී ඇත.පසුව යුහුසුළුවූ පොලීසියද සෙසු පිරිස ප්රතාකාර සඳහා රෝහල් ගත කරනු ලැබ ඇත.
පසුව පොලීසිය විසින් අදාළ පිහි ඇනුම සිදු කළ සැකකාර ලාංකික සම්භවයකින් යුතු පුද්ගලයා සොයා ගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔහු සිහිසුන් ලෙසින් (කෝමා) තත්ත්වයෙන් සිටි බවත් , සැකකරු අසල මිටියක් හා පිහියක් තිබූ බවද පොලීසිය කියා සිටී.සැකකරුද මේවන විට ප්රතිකාර සදහා රෝහල් ගත කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
( තිළිණි ද සිල්වා )