තුර්කි සිනමා කර්මාන්තය සමඟ සබඳතා



ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව (NFC) තුර්කියේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශයේ සිනමා අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සබඳතා පිහිටුවා ගත් බව තුර්කිවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

තුර්කිය සමඟ සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රිකභාවය ඉහළ නැංවීමට සහ සංස්කෘතික හා සංචාරක අංශය සක්‍රියව ප්‍රවර්ධනය කරන හා සම්බන්ධ කරන තුර්කි ආයතන සහ ශ්‍රී ලංකාවේ එවැනි සංවිධාන සමඟ සබඳතා ඇති කර ගැනීම සඳහා වූ තානාපති කාර්යාලයේ මුලපිරීමට අනුව, තුර්කියේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශයේ සිනමා අධ්‍යක්ෂ ජනරාල් අර්කින් යිල්මාස් මහතා සහ ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික දමිත් ෆොන්සේකා මහතා අතර මෙම දූත මණ්ඩලය විසින් ඉකුත්  20 දින  හඳුන්වාදීමේ හා තොරතුරු හුවමාරු කිරීමේ සැසියක් අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කරන ලදී.

රැස්වීම සම්බන්ධීකරණය කළ තානාපති එම්. ආර්. හසන් මහතා කියා සිටියේ  මෙම  රැස්වීම දෙරටේ සිනමා කර්මාන්තයේ නිලධරයන් සහ පාර්ශ්වකරුවන් අතර සම්බන්ධතා ඇති කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය නඟා සිටුවීම සඳහා සහයෝගීතාව ඇති කළ හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා තබන ලද එක් විශාල පියවරක් බවය.

දමිත් ෆොන්සේකා මහතා කියා සිටියේ වත්මන් ශ්‍රී ලංකා සිනමා කර්මාන්තයේ තත්ත්වය පිළිබඳ තොරතුරු බෙදාහදා ගත් අතර, විශේෂයෙන් ශ්‍රී ලංකා චිත්‍රපට කර්මාන්තයේ නියැලී සිටින මානව සම්පත් ධාරිතාව ඉහළ නැංවීම සහ චිත්‍රපට කර්මාන්තයේ ඩිජිටල් තාක්‍ෂණික ධාරිතාව ඉහළ නැංවීම ඇතුළුව තුර්කි සිනමාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු අංශ පිළිබඳව ඉස්මතු කළේය.

තුර්කි සිනමා කර්මාන්තයේ ප්‍රවණතා හා ධාරිතාව, තුර්කියේ සංවිධානය කරන ලද ජාත්‍යන්තර සිනමා උළෙලවල් යනාදිය පිළිබඳව විස්තර කළ තුර්කි සිනමා කර්මාන්තයේ අධ්‍යක්ෂ ජනරාල් අර්කින් යිල්මාස් මහතා, තුර්කියේ සිනමා අධ්‍යක්ෂක මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව සමඟ සහයෝගීතාව ඇති කිරීමට දිරිගැන්වීම සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කළේය.

යිල්මාස් මහතා සහ දමිත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකාවේ සහ තුර්කියේ සිනමා කර්මාන්තයේ චිත්‍රපට නිෂ්පාදකයින්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ පාර්ශවකරුවන් අතර අතථ්‍ය රැස්වීමක් සඳහා පහසුකම් සැලසීමට එකඟ වීම මඟින්, දැනට ස්ථාපිත සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මාර්ග සිතියමක් සැකසීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

දෙවැනි ලේකම් ගජිත්‍රා නවාන් මහත්මිය, දූත මණ්ඩලයේ මහජන සම්බන්ධතා නිලධාරී එලිෆ් බෙටුල් මහත්මිය, ජාතික චිත්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මධුර වනිගසේකර මහතා සහ තුර්කියේ සිනමා අධ්‍යක්ෂ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම  රැස්වීම සඳහා එක් වූහ.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS