කොවිඩ් මර්දනයට ඔස්ට්‍රේලියාවෙන් ‌ඩොලර් මිලියන 5.5



ශ්‍රී ලංකා රජයේ කොවිඩ්-19 මර්දනය කිරීමේ වැඩසටහනට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.5ක මුදලක් පිරිනමන බව එරට විදේශ අමාත්‍ය මරිස් පෙයින් මහත්මිය ඉකුත් දා නිවේදනය කළාය.

ඉන්දීය සාගර කලාපයේ සිටින අසල්වැසි රටවලට ‘කොවිඩ්-19’ වසංගත ව්‍යවසනයෙන් සිදුව ඇති බලපෑම අවම කිරීම සඳහා ලබාදෙන සහන පැකේජයේ කොටසක් ලෙස මෙම මුදල් ලබා දේ.

ඉදිරිපෙළ සේවා සපයන්නන් ආරක්ෂා කරගැනීම, වර්තමාන සහ අනාගත වසංගත තත්ත්වවලට මුහුණ දීම සඳහා සෞඛ්‍ය පද්ධතියේ හැකියාව පුළුල් කිරීමට ශ්‍රී ලංකා රජයට මෙම නව වැඩසටහන උපකාරී වන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරයි.

සහයෝගය අත්‍යවශ්‍ය වන පිරිස් වෙත එම සහාය ලැබීම තහවුරු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සමඟ සමීපව කටයුතු කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්-19’ මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියාව ලබාදෙන සම්පූර්ණ පැකේජයේ වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11.7ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,787) යැයි මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

මෙම වැඩසටහන් තුළින් සෞඛ්‍යාරක්ෂක සහ ශ්‍රී ලාංකික ප්‍රජා අතර සමාජ ඒකබද්ධතාව ප්‍රවර්ධනය සහ ස්ථාවරත්වය මෙන්ම ආර්ථිකය යළි ගොඩනැංවීම යනාදිය ද ඉලක්ක කෙරෙන බව කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය තවදුරටත් සඳහන් කරයි. 


RECOMMEND POSTS