මුස්ලිම් සහයෝගීතා සංවිධානයේ මහලේකම් අමතයි



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුස්ලිම් සහයෝගීතා සංවිධානයේ මහලේකම් ආචාර්ය යුසුෆ් අල් ඔතයිමීන්ට දුරකතන ඇමතුමක් ලබා දී ඇත.

ශ්‍රී ලංකාව සහ මුස්ලිම් සහයෝගීතා සංවිධානය අතර තිබෙන සම්බන්ධතාව සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ බව මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතන ඇමතුමක් ලබාදෙමින් වත්මන් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත් ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී මිය යන මුස්ලිම් වැසියන්ගේ මෘතදේහ ඉස්ලාමීය පිළිවෙත්වලට අනුව භූමදානය කිරීමට ගත් පියවරත් අගය කරන බව ආචාර්ය යුසුෆ් අල් ඔතයිමීන් පැවැසූ බව ද එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.

ඊට අමතරව ජාත්‍යන්තර සංවිධාන තුළට විවෘත වීමට ඒවා සමඟ කටයුතු කිරීමටත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දක්වන උනන්දුව අගය කරන බව ද හෙතෙම සඳහන් කර ඇත.

මුස්ලිම් සහයෝගීතා සංවිධානයේ සාමාජික නොවන රටවල මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නිරන්තරයෙන් පෙනී සිටින බව ඔහු එහිදි සඳහන් කර ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බහ්රේනයේ යුව රජු වන සල්මාන් බින් හමාද් අල් කලීෆාට දුරකතන ඇමතුමක් දෙමින් ද්විපාර්ශවීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙන සිය ජනාධිපති ධුරය සමයේදී සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම යුව රජු අගය කළ බව ද එහි දැක්විණි. 


RECOMMEND POSTS