රජිනිගේ ‘ජේලර් 2’ වාර්තා අලුත් කරයි

සුපිරි නළු රජිනිකාන්ත් ප්රධාන චරිතය නිරූපණය කරන ‘ජේලර්’ චිත්රපටයේ දෙවැන්න ‘ජේලර්2’ මේ වනවිට ලොව ඉහළම ආදායමක් ලැබූ දෙමළ චිත්රපටය බවට පත්වෙමින් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කර අවසන්ය. ඒ, ඉන්දීය රුපියල් කෝටි 690 සීමාව පසු කරමිණි.
මෙතෙක් කල්, ලොව ඉහළම ආදායමක් ලැබූ දෙමළ චිත්රපටය වූයේ ‘එන්තිරන් 2.0’ චිත්රපටයයි. මෙහි ප්රධාන චරිතය නිරූපණය කළේ ද රජිනි කාන්ත්ය. මෙම චිත්රපටයේ දුෂ්ටයා වූයේ ජනප්රිය බොලිවුඩ් ක්රියාදාම නළු ආක්ෂේ කුමාර්ය.‘එන්තිරන් 2.0’ ඉපැයූ මුදල ඉන්දියානු රුපියල් කෝටි 691කි.
‘ජේලර් 2’ චිත්රපටයේ ගෝලීය සමස්ත ආදායම ඉන්දියානු රුපියල් කෝටි 710.35 බව පැවැසෙයි. චිත්රපටය තිරගතවීම ආරම්භ කළේ ඉකුත් ඔක්තෝබර් 15 වැනිදාය. දින 11 ක කාලයකදී, ‘ජේලර් 2’ මෙලෙස බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කිරීම විශිෂ්ට ජයග්රහණයක් බව සිනමාවේදීන්ගේ අදහසය.
ඉන්දියාව තුළ පමණක් ‘ජේලර් 2’ චිත්රපටය ඉරිදා දිනයේදී රුපියල් කෝටි 25.70ක ආදායමක් ලබාගෙන ඇතැයි පැවැසෙයි. ඒ අනුව, ඉන්දියාවෙන් ලැබූ සමස්ත දළ ආදායම රුපියල් කෝටි 466.85ක් වන අතර, එහි ශුද්ධ ආදායම ඉන්දීය රුපියල් කෝටි 398.70ක් ලෙස සටහන් වෙයි.
භාෂා කිහිපයකින්ම තිරගත වන ‘ජේලර් 2’ මෙම චිත්රපටයේ දෙමළ පිටපත, තිරගත වීම ආරම් කර, 11 වන දිනයේදී රුපියල් කෝටි 17.35ක් ලබාගත් අතර, තෙළිඟු පිටපත රුපියල් කෝටි 4.50ක්, හින්දි පිටපත රුපියල් කෝටි 3.15ක් සහ කන්නඩ පිටපත රුපියල් කෝටි 0.70 ක් වශයෙන් ආදායම් එකතු කර ඇතැයි පැවැසෙයි.
‘එන්තිරන් 2.0’ චිත්රපටයේ වාර්තාව බිඳහෙළීමට පෙර ද ‘ජේලර් 2’ ආරම්භක දිනවලදීම වාර්තා කිහිපයක් තබා තිබුණි. ඒ අනුව ලොව පුරා ආදායම ඉන්දීය රුපියල් කෝටි 300 සහ කෝටි 400 සීමා වේගයෙන්ම පසුකළ දෙමළ චිත්රපටය බවට පත්වූයේ දින 3 ක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 300 සීමාවත්, දින 4 ක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 400 සීමාවත් පසුකරමිනි.
මෙම විශිෂ්ට සාර්ථකත්වයත් සමග දෙමළ සිනමාවේ අසහාය බොක්ස් ඔෆිස් නළුවා ලෙස රජිනිකාන්ත් හිමිකරගෙන සිටින ස්ථානය තවදුරටත් තහවුරු වී ඇත. ‘ජේලර්’ පළමු චිත්රපටය මෙන්ම, ‘ජේලර් 2’ චිත්රපටය ද අධ්යක්ෂණය කළේ නෙල්සන් දිලීප්කුමාර්ය. සංගීත නිර්මාණය අනිරුද්ය.

