ඉරාන පාලනයේ වෙනසක් ඕනෑ - ෂා රජුගේ පුතා කියයි



ඉරානයේ අවසන් ෂා පාලක මොහොමඩ් රේසා ෂාගේ පුත්‍රයා, රේසා පහ්ලවි සිය එක්ස් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ, ඇමෙරිකන් ප්‍රහාර හමුවේ, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලය අත්හළ යුතු බවය. රේසා පහ්ලවි, ඉරානයෙන් පිටුවහල් වී විදේශගතව ජීවත් වෙයි.

ඉරානයේ ඉස්ලීමීය පාලනය අවසන් කර, ත්‍රස්තවාදය අවසන් කර නව පාලනයට ඉඩ දෙන්නැයි ද රේසා පහ්ලවි, සිය එක්ස් ගිණුම ඔස්සේ, ඉරාන උත්තරීතර නායකයාට පවසා ඇත.

රේසා පහ්ලවි, ඉරාන දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නොමැති චරිතයක් වුවත් දැන් දැන් ඔහු කරළියට පැමිණෙමින් සිටින බව බටහිර මාධ්‍ය පවසයි. ඒ, ඉරානයේ රාජ්‍ය තන්ත්‍රය වෙනස් කළ යුතු බව පවසමිනි.

ඉරානය, ඊශ්‍රායලය සහ ඇමෙරිකාව අතර පවතින ගැටුම්කාරී තත්ත්වය එක රැයකින් ඇති වූවක් නොව, දශක ගණනාවක් පුරා වර්ධනය වූ සංකීර්ණ ඉතිහාසයක ප්‍රතිඵලයකි. මෙම රටවල් තුන අතර සම්බන්ධතා, මුලින් මිත්‍රශීලී වුවත්, පසුකාලීනව දේශපාලන හා දෘෂ්ටිවාදී වෙනස්කම් හේතුවෙන් උග්‍ර වෛරයකට පරිවර්තනය විය.

අද පසමිතුරන් වුවත්, ඉරානය සහ ඊශ්‍රායලය අතීතයේදී සමීප මිතුරන් වී සිටියේය. 1925 සිට 1979 දක්වා ඉරානයේ පැවති ෂා පාලනය යටතේ (රාජාණ්ඩුව) මෙම මිත්‍රත්වය ශක්තිමත් විය. 1948 දී පලස්තීන පාලන ප්‍රදේශය දෙකඩ කර ලොව එකම යුදෙව් රාජ්‍යය ලෙස ඊශ්‍රායලය බිහිවූ විට, ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගත් දෙවැනි මුස්ලිම් රට බවට ඉරානය පත්විය. (පළමු රට තුර්කියයි).

1947 දී පලස්තීන භූමියේ පාලනය කෙසේ විය යුතුදැයි තීරණය කිරීමට පත් කළ එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවේ සාමාජික රටක් ලෙස ඉරානය ද සිටියේය. පලස්තීන භූමිය දෙකඩ කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් රටවල් තුනෙන් එකක් වූයේ ද ඉරානයයි. මැදපෙරදිග දීර්ඝකාලීන අර්බුදයක් ඇතිවනු ඇතැයි මුලින්ම අනතුරු ඇඟවූයේ ද ඉරානයයි.

1951 දී ඉරානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ මොහොමඩ් මොසාඩෙග්, බ්‍රිතාන්‍යය විසින් ඒකාධිකාරී කරන ලද තෙල් කර්මාන්තය ජනසතු කළේය. ඔහු ඊශ්‍රායලය සමඟ සබඳතා අත්හැර දැමීමට ද තීරණය කළේය. ඊශ්‍රායලය බටහිර රටවල (විශේෂයෙන් ඇමෙරිකාවේ) අවශ්‍යතා ඉටු කරන බවට ඔහු චෝදනා කළේය. කෙසේ වෙතත්, 1953 දී බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු බුද්ධි අංශ මෙහෙයවූ කුමන්ත්‍රණයකින් මොසාඩෙග් බලයෙන් පහකරනු ලැබීය. ඒ සමඟම බටහිර හිතවාදී ෂා පාලනයක් නැවත ඉරානයේ ස්ථාපිත විය.

ඉරානය සහ ඊශ්‍රායලය අතර තානාපති සබඳතා යළි ආරම්භ වූ අතර, වෙළඳ සබඳතා ද ශක්තිමත් විය. ඉරානය ඊශ්‍රායලයට ප්‍රධාන තෙල් සැපයුම්කරුවෙකු බවට පත්වූ අතර, ඉරාන තෙල් යුරෝපයට යැවීම ඊශ්‍රායලය හරහා සිදුවිය.

ඉරාන-ඊශ්‍රායල-ඇමෙරිකා සම්බන්ධතා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ 1979 ඉරාන විප්ලවයයි. මෙම විප්ලවයෙන් ෂා පාලනය බිඳ වැටී, අයතුල්ලා රුහොල්ලා කොමේනි යටතේ ඉරානය ඉස්ලාමීය ජනරජයක් බවට පත් විය.

කොමේනී ඉස්ලාම් දහම මුල්කරගත් නව ලෝක දර්ශනයක් හඳුන්වා දුන් අතර, පලස්තීන මුස්ලිම්වරුන්ට එල්ල වූ හිංසා පීඩා හේතුවෙන් ඊශ්‍රායලයට සහ ඊට සහය දුන් ඇමෙරිකාවට විරුද්ධ විය.

1979 විප්ලවයෙන් පසු, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ අරමුණු පිළිබඳව බටහිර රටවල් සහ ඊශ්‍රායලය දැඩි ලෙස සැක කිරීමට පටන් ගත්තේය. ඉරානය පවසන්නේ තම න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු සඳහා (විදුලිය නිපදවීම වැනි) බවය. නමුත් ඊශ්‍රායලය සහ ඇමෙරිකාව විශ්වාස කරන්නේ එය න්‍යෂ්ටික අවි නිපදවීමට ඉලක්ක කර ඇති බවය.


RECOMMEND POSTS