හූති ප්‍රහාරවලින් සවුදියේ 13 කට තුවාල



යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම විසින් සවුදි අරාබියට එල්ල කළ බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් හේතුවෙන් සාමාන්‍ය වැසියන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව සවුදි බලධාරීහු ප්‍රකාශ කරති.

මෙම හදිසි ප්‍රහාර තත්ත්වයත් සමඟ අඟහරුවාදා උදෑසන සවුදි අරාබියේ ප්‍රධාන නගර කිහිපයකටම පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඉරාන සහාය ලබන හූති සංවිධානය මෙලෙස ඉලක්ක කර ඇත්තේ සවුදියේ ඛමීස් මුෂායිත්, අබ්හා සහ තායිෆ් යන ප්‍රදේශවල පිහිටි සිවිල් ජනාවාසයන්ය.

යේමනයේ නීත්‍යානුකූල රජය තහවුරු කිරීමේ අරාබි සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් තුර්කි අල්-මස්රි ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, එල්ල වූ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 13 දෙනෙකුට සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ තුවාල සිදුව ඇති බවයි. ඊට අමතරව ප්‍රහාර හේතුවෙන් නිවාස 7 කට සහ වාහන දෙකකට හානි සිදුව තිබේ.

සිදුවූ ප්‍රහාරයන් හමුවේ සවුදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් රටේ බටහිර සහ දකුණු දිග කලාපවල පිහිටි අබ්හා, ජෙඩා, ජාසාන්, තායිෆ්, යාන්බු, මක්කා සහ අල්උලා යන නගර සඳහා පූර්වාරක්ෂක අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන ඇත.


RECOMMEND POSTS