ඊශ්‍රායල මහ මැතිවරණය අද



ඊශ්‍රායල ඉතිහාසයේ වඩාත්ම තීරණාත්මක මහ මැතිවරණය අද (27) පැවැත්වෙයි. 2023 ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් පසු සහ ගාසා තීරයේ ඇති වූ දැඩි යුද්ධයෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වෙයි.

ඉරානය, ලෙබනනය, යේමනය, සිරියාව සහ කටාර් යන රටවලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ කලාපීය අර්බුද ඉහළ ගොස් ඇති පසුබිමක මෙම  ඡන්ද විමසීම පැවැත්වීම ද විශේෂත්වයකි.

ඊශ්‍රායලයේ වැඩිම කාලයක් අගමැති ධුරය දැරූ බෙන්ජමින් නෙතන්යාහු, අන්ත දක්ෂිනාංශික සහ අන්තවාදී අදහස් ඇති ඕතඩොක්ස් පක්ෂ එක්කර ගනිමින් පිහිටුවූ ආණ්ඩුව නැවත බලයට ගෙන ඒමට උත්සාහ ගනී.

ගාසා තීරයේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබීම සහ දූෂණ චෝදනා නඩුවකට මුහුණ දීම හමුවේ, නෙතන්යාහු සිය දේශපාලන පැවැත්ම වෙනුවෙන් සටන් කරමින් සිටී.

ඔහුට එරෙහිව විපක්ෂය ලෙස නැගී සිටින සියොන්වාදී සන්ධානය ද ප්‍රධාන ආරක්ෂක ප්‍රශ්න සම්බන්ධයෙන් දක්ෂිනාංශික මතවාදයක් දැරීම කැපී පෙනෙන කරුණකි.

මෙවර මැතිවරණ ව්‍යාපාරය පුරා ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ 2023 ඔක්තෝබර් ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම පිළිබඳ ආරක්ෂක වගවීම, අන්ත ඕතඩොක්ස් ජාතිකයන් හමුදා සේවයට එක්කර ගැනීම සම්බන්ධ මතභේද සහ අරාබි නායකත්වයෙන් යුතු දේශපාලන පක්ෂ කොන් කිරීමට දැරූ උත්සාහයන් පිළිබඳවය.

මෙම මැතිවරණයෙන් පලස්තීන ජනතාවගේ ජීවිතවලට කිසිදු සාධනීය වෙනසක් සිදු නොවනු ඇතැයි ද පැවැසෙයි. ප්‍රකට ඊශ්‍රායල සමාජ විද්‍යාඥයෙකු වන යෙහුඩා ෂෙන්හාව්-ෂහරාබානි ‘අල් ජසීරා’ පුවත් නාලිකාවට පවසා ඇත්තේ, සමස්ත ඊශ්‍රායල දේශපාලන ක්‍රමයම ‘යුදෙව් ආධිපත්‍යය’ පදනම් කරගත් ජාතිවාදී රාමුවක් තුළ ක්‍රියාත්මක වන බවය.


RECOMMEND POSTS